(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ඉදුණු වැළ ගෙඩියක් කෑමට ගත් තරුණයකු ඇතුළු පිරිසක් මිල ගණන් ගෙවූ ආකාරය දැක මුදලාලිට තරු පෙනුණ පුවතකි මේ.
සිද්ධිය වාර්තා වන්නේ ඇතුගල්පුරවරයේ කොස්වලට ප්‍රසිද්ධියක් උසුලන නගරබද රක්ෂිත පෙදෙසකිනි.
මෙම ප්‍රදේශයේ මඟ දිගට කොස් වැළ වරකා විකුණන්නට ප්‍රදර්ශනයට තබා ඇති අතර ඒවා නැති පෙදෙස්වල අය ඒවායේ රස බලන්නට රුචියක් දක්වති.
කඩවසම් තරුණයකු එතැනට පැමිණියේ තවත් තරුණ පිරිසක් කැටුවය.
මුදලාලි කොස්වල මිල ගණන් කොහොමද?
වැළ ගෙඩියක් ගත්තත්, වරකා ගෙඩියක් ගත්තත් හැම ගෙඩියක්ම රුපියල් විස්සක් වෙනවා.
කොස් ඇටවල මිල ගණන් කොහොමද?
කොස් ඇට අපි විකුණනවා ඇට කිලෝවක් රුපියල් 15කට.
හැබැයි පිටතින් කොස් ඇට ගෙනාවොත් අපි ඇට කිලෝවක් රුපියල් දහයකට මිලදී ගන්නවා මුදලාලි තරුණයාට පැවසීය.
කතාවට සවන් දුන් තරුණයකු කිසිත් නොකියා වැළ ගෙඩියක් තම භාරයට ගත්තේය.
ඔහු එය රැගෙන යහළුවන් ද කැටුව ඒ අවට පෙදෙසක වාඩි විය.
කණ්ඩායම එක්ව පැණි රස බේරෙන වැළවල රස බැලූහ.
වැළ ගෙඩිය කෑමෙන් අනතුරුව තරුණයා ඉවත ලූ සියලුම කොස් ඇට අහුලන්නට පටන් ගත්තේය. ඒවා උරයක දා ගත් තරුණයා එය රැගෙන ගොස් වැළ වරකා විකුණු තැනැත්තා අත තැබීය.
කොස් ඇට කිරා බැලූ මුදලාලි එහි කිලෝ තුනක් ඇතැයි පෙන්වා දුන්නේය.
එහෙනම් කන්න ගත් වැළ ගෙඩියට රුපියල් විස්සයි නේද?
මෙතැන කොස් ඇටවල ගණනට රුපියල් තිහයිනේ.
වැළ ගෙඩියට රුපියල් විස්ස අඩු කරගෙන ඉතිරි රුපියල් දහය අතට දෙන්න තරුණයා කීය.
කිසිත් නොකියූ මුදලාලි රුපියල් දහයක් ඔහු අත තැබීය.
එය ගත් තරුණයා ඇතුළු පිරිස එතැනින් නික්ම ගියහ.
තමාගේ වැළ ගෙඩිය ණයට කාලා කොස් ඇටත් දීලා අතටත් මුදල් ගත් ආකාරය වටහා ගත් මුදලාලි වහාම කොස් ඇට මිලට ගන්නා බවට සඳහන් කර තිබූ දැන්වීම් පුවරුව ඉවත් කර එතැන් සිට වැළ වරකා කොස් ඇට අලෙවි කරන දැන්වීම් පමණක් එහි ප්‍රදර්ශනය කෙරුවාලු.