පෝද්දල සරත් ආනන්ද ගමගේ
මුදල් අයකර පෙන්වන ලද සංගීත සංදර්ශනයක් සංවිධායකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් පළමු දිනයේදී විශාල පිරිසක් නොමිලේ නැරඹූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.
ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් දින හතරක විනෝද සැණකෙළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා විද්‍යාල ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත. ක්‍රීඩා පිටියේ එක් කෙළවරක් අවසන් වන්නේ වැව් බන්ට් එකකිනි. ප්‍රධාන වේදිකාව ඉදිකර ඇත්තේද මේ පැත්තේය.
සැණකෙළියේ පළමු දින එහි උච්චතම අවස්ථාව වන සංගීත සංදර්ශනය මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී ආරම්භ විය. සංගීතය ඇරඹී සුළු මොහොතක් යනවිටම මේ ක්‍රීඩා පිටිය අසල වැව් බන්ට් එකටද එකා දෙන්නා රොක් වී ඇත. ක්‍රීඩා පිටිය ඇතුළේ සිට නරඹනවාට වඩා හොඳට ඇස් මට්ටමේ සිට දිස්වන බැවින් බන්ට් එකේ සිට එය නැරඹීම වඩා පහසු වී ඇත. එසේ පැමිණි ඇත්තන් තමන් විඳින අත්දැකීම පිළිබඳව දුරකතනය ඔස්සේ යහළු යෙහෙළියන්ට පැවසීමත් සමග විශාල පිරිසක් බන්ට් එකට එකතු වී ඇත.
මධ්‍යම රාත්‍රිය පසුවනවාත් සමගම ක්‍රීඩා පිටිය ඇතුළේ සිටි සංගීත ලෝලීන් ගීතයේ තාලයට පාද තබමින් සිය නර්තනාංග හැකියා ද විදහා දැක්වීමට පටන් ගෙන ඇති අතර බන්ට් එක මත සිටි ඇත්තෝද ඊට නොදෙවැනි ලෙස සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත. සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් සංවිධායකයෝ දැඩි අපහසුතාවට පත්වුවත් එය වැළැක්වීමට ගත හැකි පියවරක් ඔවුන්ට තිබී නැත.
පසු දින සංවිධායකයෝ වැව් බන්ට් එක ආවරණය කිරීමට සූදානම් වුවද ඒ සඳහා වාරිමාර්ග බලධාරීන් අවසර දී නැත. පසුව ඔවුන් වේදිකාව වටේට තිර ඇද යම් ආවරණයක් කර ඇතත් පසු දිනද පිරිසක් එහි සිට සංගීත සංදර්ශනය නැරඹූ බවද ආරංචිය. මේ සිදුවීම ප්‍රදේශයේ බොහෝ දෙනාගේ කතාබහටද ලක්වෙන අතර සමාජජාලා මාධ්‍ය හරහා ද සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබී ඇත.