වැඩි තණ්හාවට ගිහින් දසඅතේ ණය වෙලා



මොරගොල්ලාගම සිසිර කැලේගම 



තමන් පමණක් බඩ වඩා ගත්තොත් ඇතැයි සිතා තනියම වැජඹෙන්නට ගිය මුදලාලියෙකුට යන එන මං නැති වූ පුවතක් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාවතේ ප්‍රසිද්ධ ජනාවාස නගරයකින් අසන්නට ලැබුණි.
ඔවුහු විවිධ දේ අලෙවි කරන්නෝය. ඒ ජීවත් වීමටය. එකෙකු එක වර්ගයක් අලෙවි කරන විට තවත් අය ද එයම අලෙවි කරන්නට වෙර දරයි. මේ නිසා ලැබෙන ආදායමද ඒ අවට අය අතරේ බෙදි යති. මෙකී තත්ත්වය හමුවේ අපේක්ෂා කරන ආදායමද නොලැබෙන අවස්ථා එමටය.ඒ වෙළදාමක ස්වභාවයයි. ලාබ සේම පාඩු ලබන්නට ද, එය විඳ දරා ගන්නට ද වෙළෙන්දන්ට මනා වැටහීමක් තිබිය යුතුය.
ඒ අතරේ තැඹිලි තොග වශයෙන් විකුණන්නට ලොරි රථයක් ආවේය. ඒ ඔහු තැඹිලි සියලු‍ම කඩ වලට දීමටය.


“පෑයුම සැරයි, පිපාසය දැනෙන මිනිසුන් බඩ ඉරිඟු‍ කාලා ප්ලේන්ටියක් බොනවාට වඩා තැඹිලි ඉල්ලයි. දෙස් විදෙස් අය නවතියි.තැඹිලි බොන්නට ඉල්ලයි. ඒ නිසා තැඹිලි ගෙඩි සියල්ලම තනියම ගත්තොත් ගජ වාසියි. හොඳ ආදායමක් ගන්න හැකි වෙයි”‍ සිතු එකෙකු තැඹිලි ලොරියම ගත්තේය.
තැඹිලිවල වටිනාකම රුපියල් පනස් දහසකට ආසන්නය. තොග මිල එසේය.එක එක වික්කොත් ලක්ෂ ගණනක ලාභ ගත හැකිය. එලෙස සිහින මැවු ඔහු “මල්ලී මං මෙව්වා විකුණලා මුදල් පස්සේ දෙන්නම්”‍ කීවේය.
“හරි හරි කමක් නෑ. තැන් තැන්වලට බාන්නෙත් දෙන්නම් කාසියට තමයි. කමක් නෑ මං පස්සේ එන්නම්”‍ තොග මුදලාලි තැඹිලි සියල්ල එතැනට දමා පිටවී ගියේය. 
නොසිතූ වැසි පතිත විය. තැඹිලි විකිණීමට ද බැරිය. ඒවා එක තැන කුරුවල් විය.
 ඒ ගැන ඔහු කිය කියා මැසිවිලි නඟයි.
“ඒක මට වැඩක් නෑ. දෙනවා කියු මුදල දෙන්න”‍ තොග මුදලාලි මුදල ඉල්ලයි.
ඔහු දසත දුවයි.. ඒ ණය වී මුදල් සොයා තොග මුදලාලිට දීමටය.. එය දුටු තම බිරිය “වැඩිය කන්න ගිය රටේ වලහා කාපී පිළි ගැටේ”‍ කියන්නේ ඕකට තමයි කියා දොස් නගනා විට එය ඇසුණු අවට අය කොක් හඬලා සිනා සෙද්දී ඔහු තව තවත් අසරණ වුණාලු‍.