වදයෙන් බේරෙන්න අපූරු උපායක්


කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත



සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි නාට්‍ය තරගාවලියේදී විදුහල්පතිගේ හිත සතුටු කරවන්න ඔහුගේ පුතා නාට්‍යයට සම්බන්ධ කරගත් අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
විදුහල්පතිගේ පුතාට ඉංග්‍රීසි පොතේ අකුරක්වත් බැරිය. ඒත් පාසල් ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමේ සිටි අනෙක් සිසුහු අති දක්ෂයෝය. මේ නිසාම මේ නාට්‍ය කණ්ඩායමට සමස්ත ලංකා ජයක් හිමිවනු ඇති බව මුළු පාසලම දැන සිටියේය, විදුහල්පතිද ඒ අතරය.
මේ නිසාම නාට්‍ය කණ්ඩායම භාරව සිටි ගුරුවරයාට විදුහල්පතිවරයා අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ සිය පුතාත් මේ නාට්‍ය කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙසය.
ඉංග්‍රීසි පොතේ අකුරක් බැරි මේ දරුවා ඇතුළත් කිරීම අති දුෂ්කර කාර්යක් වී තිබිණ. එහෙත් විදුහල්පතිගේ උදහසට ලක්වුවහොත් විදුහලේ විසීම බොරු බව දත් නාට්‍ය කණ්ඩායම භාරව සිටි ගුරුවරයා අපූරු උපායක් ඊට යෙදුවේය.


සමස්ත ලංකා නාට්‍ය තරගාවලිය පැවැත්විණ. මේ විදුහලේ එක ජවනිකාවකට අපූරු ගහක් ලෙස සිසුවෙක් රඟ පෑවේය. කතා බහක් නැතිව ගහක අතු ලෙළදෙන පරිදි දෙඅත් එහා මෙහා කළේය. මේ නාට්‍යයට සමස්ත ලංකා ජයක් හිමිවිය.
එම ජයග්‍රහණය වෙනුවෙන් ඉංග්‍රීසි පොතේ අකුර බැරි විදුහල්පතිගේ පුතාටද එහි සහතිකයක් හිමිවිය. විදුහල්පතිට පට්ට සතුටුය. නාට්‍ය භාර ගුරුවරයා අර නාට්‍යයට ගහක් නොදැම්මා නම් විදුහල්පතිට මේ සතුට හිමි නොවන අතර ගුරුවරයාටද එම පාසලේ තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ද නොලැබීමට ඉඩ තිබිණ.