පෝද්දල - සරත් ආනන්ද ගමගේ
රජයට අයත් ඉඩමක ඉබේ පැළවී තිබුණු වැලක ඵල දරා තිබුණු වට්ටක්කා ගෙඩියක් කවුරුන් විසින් හෝ කඩාගෙන යාම නිසා එයට ඇස ගසාගෙන සිටි ඒ ආසන්න වෙළෙඳසලක හිමිකරුවකු වට්ටක්කා ගෙඩිය සොයා සිදු කළ අපූරු මෙහෙයුමක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගිය දා වාර්තා විය.
වට්ටක්කා ගෙඩිය හටගෙන තිබුණේ රජයට අයත් භූමියක වුණත් එය ඵල දැරුවාට පසු එම ඉඩම ඉදිරිපස වෙළෙඳසලේ හිමිකරු එය ඔහුට අයත් දෙයක් මෙන් රැකගෙන සිටියේය.
කුඩා ගෙඩිය ටික ටික වැඩී ලොකු මහත් වන විට ඔහු එය පොල් අත්තකින් වසා තැබුවේ අන් අයගෙන් වසන් කිරීමටය. ඔහු උදේ කඩේ අරින්නට පෙර ද පළමු රාජකාරිය කරගත්තේ වට්ටක්කා ගෙඩියේ දුක සැප සොයා බැලීමය. මෙසේ ආරක්ෂාකාරිව වැඩුණු වට්ටක්කා ගෙඩිය පසුගිය දිනක කඩ හිමිකරු පැමිණ බලන විටදී අතුරුදන්ව තිබුණි. තමාට අයත් වටිනා සම්පතක් අහිමි වූවා සේ මහත් ශෝකයට පත් ඔහු එය කඩාගෙන ගියේ කවුරුන් දැයි සෙවීමට වෙහෙසුණේය.
ඒ ආසන්න නිවෙසේ පදිංචිකරු අතමිට සරු අයකු වුව ද කඩ හිමියාගේ සැකය එල්ල වී තිබුණේ ඔහු වෙතය. එම නිවෙසේ ආරක්ෂිත කැමරාවේ වට්ටක්කා කැඩූ තැනැත්තාගේ දර්ශන ඇතැයි හෙතෙම විශ්වාස කළේය. ඒත් ඔවුන් දෙදෙනා අමනාප වී සිටීම නිසා ඒ දර්ශන බැලීමේ අවස්ථාව ද ඔහුගෙන් ගිලිහී තිබුණි.
වට්ටක්කා ගෙඩියට සිදු වූයේ කුමක්දැයි දස අතේ කල්පනා කළ ඔහු අන්තිමට තීරණයක් ගත්තේය. වහාම සිය බිරිය ගෙන්වාගෙන ඇයට කඩය බාර දී ඔහු පොලිසියට ගියේ පැමිණිල්ලක් දමා ඒ හරහා අල්ලපු ගෙදර කැමරා දර්ශන නැරැඹීමේ චේතනාවෙනි.
පැමිණිල්ල සටහන් කරන නිලධාරියා මුලින්ම ඇහුවේ, ගෙඩිය තිබුණු ඉඩමේ අයිතිය කාගේදැයි කියාය. ඔහු ඒ.එල්.ආර්.සී. ඉඩමකැයි පවසන විටම ආණ්ඩුවෙ ඉඩම්වල තියෙන ගස් වැල්වල හැදෙන ගෙඩි කවුරු කඩාගත්තත් තමුන්ට මොකදැයි අසා ඔහු පන්නාගෙන ඇත. මහත් චිත්ත පීඩාවට පත් ඔහු නැවත කඩේට පැමිණ හිතවත් මිතුරකුට ඒ ගැන දැනුම්දී පිළිසරණ පැතීය.
එහිදී මිතුරකු පවසා ඇත්තේ, ටක්කෙටම සොරුන් ගැන කියන සාස්තරකාරයකු අහවල් ගමේ වෙසෙන බැවින් පාන්දරම ගොස් ඔහු මුණගැසෙන ලෙසයි. පසු දා කඩේ වෙළෙඳාම බිරිඳට බාරදුන් ඔහු පාන්දරම මෝටර් රථයට රුපියල් 5000ක තෙලුත් ගසාගෙන සාස්තරකරු මුණගැසීමට ගියේය. දාහේ කොළ හතරක් පඬුරු පූජා කළ පසු මිතුරා කියූ පරිදිම සාස්තරකරු හරියටම සාස්තරේ කීවේය. නැති වූ දෙයක් සොයා පැමිණි බවත්, එය තමා හොඳින් දන්නා කෙනකු රැගෙන ගොස් ඇති බවත් එහිදී කියවී ඇත.
සියලු බලාපොරොත්තු සුන් වූ අයකු ලෙස දහවල් ඔහු වෙළෙඳසල වෙත පැමිණි අතර, ඒ අවස්ථාවේ එම ස්ථානයේ ලෑන්ඩ්මාස්ටරය හයර් දුවන පුද්ගලයා ද සිටියේය. ගිය ගමන ඵලක් නැතැයි මුදලාලි බිරියට පවසද්දී, ලෑන්ඩ්මාස්ටර්කරු ඒ පිළිබඳව අසා සිට “අයියෝ, ඕක මගෙන් ඇහුවා නම් කියනවනේ” යයි කියමින් “අර සිමෙන්ති ගේන ලොරියේ ගෝලයානේ කඩාගෙන ගියේ. මං හිතුවේ මේ දවස්වල වට්ටක්කා ඕසෙට ලාභ නිසා මුදලාලි දැනුවත්ව කඩාගෙන යන්න ඇති කියලා” යැයි වැඩිදුරටත් පැවැසීය.
වට්ටක්කා ගෙඩිය කිලෝ විස්සක් බරට තිබුණත් රුපියල් දහසකින් අද එවැනි ගෙඩියක් මිලට ගත හැකි බව ඔහු මුදලාලිට පෙන්වා දුන් පසුලු තමා කළ අනුවණකම මුදලාලිට වැටහුණේ.

