කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
හේ සේවය කළේ කොළඹ ආයතනයකය. මේ ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහුගේ මව මිය ගියාය. ඒ හද්දා පිටිසර පිහිටි මහ ගෙදරය. ඔහුගේ බාල සොහොයුරාගේ නිවසේදීය. මවගේ අවසන් කටයුතුවලට ආයතනයේ ලොක්කා ඇතුළු පිරිසක් ද සහභාගීවූහ.
මවගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමගුල් උත්සවයක්ද පැවතියේය. ආයතනයේ ලොක්කාටද කතාවක් වෙන්වී තිබිණ. ලොක්කා මවගේ අවමගුල් උත්සවයේදී කතා කළේ සිය සේවකයාගේ ගුණය.ඔහු හොඳින් රාජකාරී කරන ආකාරයද ඔහුගේ කතාවෙන් කියවුණේය.
ඒ විතරක්ම නොවේ ඔහුගේ සේවය සලකා බලා මව ඔත්පළව සිටිනා කිහිප අවස්ථාවකදීම ගමේ සිටින මව බැලීමටද ආයතනයෙන් නිවාඩු අනුමත කරදුන් බවද ලොක්කා කීවේය. ඒ සමගම ඔහුගේ සොහොයුරු, සොහොයුරියන් අතරද සියුම් කතා බහක් ඇතිවූයේ ආයතනයේ සේවකයන්ද ඒ ආසන්නයේ ගැවසෙමින් සිටිනා විටදීය.
සිය ආයතනයෙන් නිවාඩු ගැනීමට ඇති අපහසුව නිසා බව කියමින් මව මිය යන තෙක්ම ඔහු මාස කිහිපයකින්ම මව බැලීමට නොපැමිණි බව අවමගුලේ ඥාතීන් අතර ඇතිවූ කසුකුසුව ආයතනයේ සේවකයන්ගේ කනටද රිංගූවේය. ඒ මාර්ගයෙන් කොහොම හරි ආයතනයේ ලොක්කාගේ කනටද ගොස් තිබුණේ විදුලි වේගයෙනි.
ඒ සමගම ලොක්කා ඔහුගේ මවගේ දේහය උස්සන්නත් කලින් එතනින් ඉවත්ව ගොස් ඇත්තේද විදුලි වේගයෙන්ලු.