බිරිඳ ඇඳුමෙන් ලස්සන වෙනවා බලන්නට බැරි සැමියකු ඇය මිලදී ගත් ඇඳුම කපා දැමු පුවතක් යාපහු පුරවරයට අයත් නගරබද පෙදෙසකින් ඇසෙයි.
සැමියා ව්යපාරිකයෙකි. බිරිය විශ්රාම වැටුප් සහිත රාජ්ය ආයතනයක සේවය කරනවා ය. ඔවුනගේ දරුවන් ද විවාහකය. ඔවුන් පදිංචිය සඳහා මුල් නිවසින් බැහැරව ගොස්ය. මේ නිසා අඹු සැමි යුවළ පමණක් නිවසේ වාසය කරති.
සැමියාට වඩා බිරිය අවුරුදු දහයකින් පමණ බාලය. මේ නිසා රූමත්භාවයෙන් යුත් තරුණ පෙනුමැති ඇය දෙස සැමියා වපර ඇසෙන් බලන අවස්ථා එමටය.
ඒ අතරවාරයේ ඇය ලද වැටුපෙන් ඇඳුමක් මිලදී ගත්තාය. එය ගෙදර ගෙනැවිත් පසුදින ඇඳගෙන සේවයට යාමට බසයක් එනතුරා නිවස ඉදිරිපිට පාරේ රැඳී සිටියාය.
යන එන අය ඇයගේ ඇඳුම ‘‘ලස්සනයි, නියමයි” කියමින් වර්ණනා කළහ.
ඒ අසල සිටි සැමියා ඒ දෙස බලා සිටියේය. ඇය බසයක නැගී සේවයට ගොස් හවස සේවයෙන් මිදී ගෙදර ආවාය.
ඇඳුම ගලවා දමා ඇය ගොස් දිය නාන අතරේ සැමියා කතුරක් ගෙන එය කිසිවකුට ප්රයෝජනයකට ගත නොහැකි ලෙසට කැබැලිවලට කපා දැමුවේය.
එළියට පැමිණි ඇය ඒ දැක කරපු අපරාධය කුමක්දැයි කියා විලාප දෙමින් ඇසුවාය.
”මට විතරක් ලස්සන පෙනුනාම ඇති එක එකාගෙන් සම්මාන ගන්න ඇඳුම් අඳින්න ඕනෑ නෑ. ඒකයි මම ඒක කැපුවේ” යනුවෙන් ඇඳුම ඇගේ මූණට දමා ගැසුවේය.
ඊට එරෙහිව කතා කළා නම් ගුටි පූජාවකුත් ලැබෙන නිසා වෙච්ච පාඩුව තමාම විඳ දරාගෙන ඇය මුණිවත රැක සිටියාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම