(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
ලොරි රථයේ ටයරයක හුළං බැසීම නිසා ජලාශයක් අයිනේ ලොරිය නවතා ගැලවූ ටයරයේ ඇණ මුරිච්චි හතර ජලාශයට වැටීම නිසා කර කියා ගත නොහැකිව සිටි රියැදුරුට ගොවි මහතකු දුන් විසඳුමෙන් රියැදුරු අන්දුන් කුන්දුන් වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ටයරය පුපුරා ගියේ අනපේක්ෂිත මොහොතකය. මෙම මාර්ගය ජනාකීර්ණ නොවූ ජලාශයක ආසන්නයේ වූ මාර්ගයක් නිසා රියැදුරු ලොරි රථය ඉතා අපහසුවෙන් ජලාශය ආසන්නයේ අයින් කර නවතා සිදුව ඇති දෑ පරීක්ෂා කර බැලීය.
එහිදී ඔහුට දැක ගන්නට හැකිව ඇත්තේ ඉදිරිපස ටයරය පුපුරා හුළං බැස ඇති බවයි. කළ යුත්තේ එකම දෙයක් බව වටහා ගත් ඔහු වහාම ටයරය මාරු කිරීමට පටන් ගත්තේය. ටයරයේ ඇණ මුරිච්චි හතර ගලවා කුඩා ප්ලාස්ටික් කෝප්පයක දමා ජලාශය බැම්ම මත තබා තම කටයුත්ත සිදු කරමින් සිටියේය.
එම අවස්ථාවේ එම ස්ථානයෙන් දිව ගිය සුනඛයකුගේ ඇඟේ වැදී ඇණ මුරුච්චි තිබූ කෝප්පය ජලාශයට වැටුණේය. මේ ගැන අවධානය යොමු නොකළ රියැදුරු ටයරය මාරු කිරීමේ කටයුත්ත සිදු කරමින් සිටියේය. ටයරය සවි කර ඇණ තද කිරීමට ඇණ මුරිච්චි සෙවීමේදී ඔහුට තරු පෙනිණ. තමන් ජලාශ බැම්මේ තිබූ ඇණ මුරිච්චි එහි නොවීය. ඇණ තද නොකර ගමන්ක කළ නොහැකි අතරම, ඒවා මිල දී ගන්නට තැනක්ද ළඟ පාතක නොවීය.
අමතර ඇණ මුරිච්චි තිබේදැයි ලොරිය පුරා ඇද බැලූ නමුත් සොයා ගත නොහැකි විය. මෙසේ කල්පනා කරමින් සිටින අතරතුර එම ස්ථානයෙන් සිය කුඹුරේ සිට එමින් සිටි ගොවි මහතෙක් මෙය දැක විමසා බැලීය. සිදුව ඇති දෑ රියැදුරු මහතා ගොවි මහතාට පැහැදිලි කර දුන් අතර තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කීය.
ලොරිය වටා රවුමක් ගොස් ලොරිය සම්පූර්ණයෙන් විපරම් කර බැලූ ගොවි මහතා රියැදුරු මහතාට මේ ගැටලුව සඳහා අපුරු විසඳුමක් ලබා දුන්නේය.
මහත්තයෝ මේක ඒ තරම් ගැටලුවක් නෙවෙයි. මේ ලොරියේ අනෙක් ටයර් තුනේ ඇණ හතර ගානේ තියෙනවා. ඒවායෙන් එක් ටයරයක එක ඇණයක නට් එක ගානේ ගලවා මේ ටයරයට සවි කර ගන්න. එතකොට ටයර් හතරට තද කළ ඇණ තුන ගානේ තියෙනවා. ටයරයකට ඇණ තුන ගානේ සවි කර ගත්තහම ඕනෑ තරම් දුරක් යන්න පුළුවන් යැයි කීය.
මේ විසඳුම ඇසූ රියැදුරුට සිහින් ලජ්ජාවක් ඇති වනු දක්නට ලැබිණ.