රෝගියා සිටිද්දී සාත්තුකරු ගිලන්රියේ දමාගෙන ගිහින්


(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා) 
දිනය ඉකුත් 21 වැනි දාය. ස්ථානය දකුණේ ප්‍රකට මහ රෝහලකි. මෙහි එක් වාට්ටුවක සිටි වයස්ගත රෝගියෙක් මෙකී මහ රෝහලේ ප්‍රතිකාර ලබා දීම අවසන් වූ හෙයින් යළි ඔහු පෙර නැවතී සිටි සබරගමුව පළාතේ රෝහල වෙත මාරු කර යැවීමට වෛද්‍යවරුන් උපදෙස් දී තිබිණි. 


ගිලන් රථ සහායකයා අදාළ වාට්ටුවට පැමිණ රෝගියා රැගෙන සබරගමුව රෝහල වෙත පිටත් විය. 


සිද්ධිය වී විනාඩි 45 ක් පමණ ගතවෙද්දී දුර බැහැර රෝහල වෙත මාරු කර යැවූ රෝගියා ඇඳ මත සිටින අයුරු හෙදියක දැක මේ ගැන පරීක්ෂා කර බැලීමේදී හෙළි වී ඇත්තේ රෝගියාගේ සාත්තුවට සිටි වයසක පුද්ගලයා ගිලන් රියෙන් රැගෙන ගොස් ඇති බවය. 


දකුණේ මහ රෝහල් කාර්යය මණ්ඩලයට දුරකථන අංකයක් මගින් ගිලන් රියේ රියැදුරු සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබිණි. 


ඒ වන විට ගිලන් රථය කිලෝ මීටර් 40 ක් පමණ දුරක් ගමන් කර තිබිණි. කෙසේ වෙතත් වහාම කරුණු වටහා ගත් ගිලන් රථයේ රියැදුරු ගිලන් රිය යළි හරවාගෙන පැමිණ අදාළ මහ රෝහලට ළඟා විය. 


මේ අවස්ථාවේදී අදාළ රෝගියාගේ සහායට සිටි අය පවසා ඇත්තේ තමා සාත්තු සප්පායම් කළ රෝගියා වෙනත් රියකින් ගමේ රෝහලට මාරු කර යවන බව සිතා තමන්ට ගමට යාමට ගිලන් රියට ගොඩ වූ බවය. 


මේ කාරණය අසා සියල්ලන්ටම හිනා ගිය ද අදාළ කටයුත්ත ගැන තමන්ට උත්තර බඳින්නට වූ කාර්ය මණ්ඩලයේ සිටි අය කර කියා ගන්නට කිසිවක් නොමැතිව නිරුන්තර වී සිටියහ.