පවිත්රා දේශානි
බිරිඳට මොහොතක නිදහසක දීමට සිතා රාත්රී ආහාරයට රොටී පිලිස්සීමේ වගකීම තම උරපිටට ගෙන එක වැඩේ දෙකකෙරූ සැමියකු පිළිබඳ පුවතක් අනුරාධපුර නගරයට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය. හේ වයස 40 ඉක්ම වූ මැදිවයස්කාරයෙකි. ගමේ ළමයින්ට මොහු “කළු මාමා” ය. ගමේ මිනිසුන්ට “කළු අයියා” හෝ “කළු මල්ලී” ය. “කළු” යන නාමයෙන් ප්රසිද්ධ වී ඇත්තේ ඔහුගේ දේහයේ වර්ණය කාල වර්ණ නිසාය. නිකං කළු නෙවේ හේ සැබෑම කළුය. කා අතරත් හිත හොඳ විහිළුකාරයකු යැයි ප්රසිද්ධය.
විවාහකයකු වූ අප කතානායකයා දරු දෙදෙනෙකුගේ පියෙකි. තම බිරිඳ දිනපතාම වෙහෙස මහන්සි වී තම පවුලේ උදවියට ආහාර පාන පිළියෙල කරදෙන අයුරු දැක දිනක් මොහුට අපූරු අදහසක් පහළ විය. එනම් එදින රාත්රියේ ආහාර පිසීම තමන් සිදු කිරීමේ වගකීම ඔහු විසින් භාර ගැනීමයි. මේ පිළිබඳව ඔහු තමන්ගේ බිරිඳව දැනුවත් කර ඇත. බිරිඳගේ ප්රියතම ආහාරය වන රොටී පිලිස්සීමට කටයුතු සූදානම් කර ඇත.
පිටි අනා සියල්ල නිම වූ පසු රොටී කබල රත්වීම පිණිස ළිප තබා ඇත. පළමු රොටිය වඩා රොටී කබලට පිච්චීම පිණිස අතුරා ඇත. නමුත් අමුත්තක් දැනී ඇත. සැමියා රොටි සාදන ආකාරය බැලීමට පැමිණි “කළු” ගෙ බිරිඳ ඔය මොකක්ද ඔය කරලා තියෙන්නේ යැයි අසා ඇත. තුෂ්ණිම්භූත වූ ඔහු බිරිඳ දෙස බලා ඇත. ඔය රොටිය වඩලා තියෙන්නේ රොටිය වඩන පැත්ත නෙවෙයිනේ. ගින්දර වැදෙන අඟුරු පැත්තනේ යැයි නැවතත් ඇය පවසා ඇත.
සිදු වී ඇති දෙය වටහා ගත් අප කතානායකයා ආ ඉන්නකෝ එහෙනම් යැයි පවසා රොටී කබල නිවැරදි පැත්තට එසැණින් තබා ඇත. එහෙත් එම පැත්ත පෙර ගින්දරින් රත් වූ නිසා අඟුරු බැඳි තිබ ඇත. එම පැත්තේ රොටියක් වඩා පිලිස්සීමට තබා ඇත. නැවතත් මුළුතැන්ගෙයට පැමිණි බිරිඳට ආ දැන් හරිනේ යැයි මොහු පවසා ඇති අතර එය නිරීක්ෂණය කළ බිරිඳට සිදු වූ දෙය වැටහී ඇත.
සැමියාට පසෙකට වී සිටින්නැයි පවසා එදිනත් බිරිඳම රාත්රි ආහාරය පිළියෙල කර ඇත. පසු කාලීනව මෙය ගම්වැසියන්ද දැනගත් අතර ඇතැම් විට “කළු මාමා රොටී හැදුවා වගේ” යැයි පවසා සිනහ වන බවයි ආරංචිය.

