රස්නේ නිවාගන්න අල්ලපුගෙදර තැඹිලි ගහට බඩගාලා


එදා ද උණුසුම් රාත්‍රියකි. වේලාව මැදියම් රැයට ආසන්නය. පාර අයිනේ තිබූ වත්තක තැඹිලි ගහකට කළුවරේම බඩගාන අයෙකි. ගහ මුදුනට පැමිණි ඔහු තැඹිලි ගෙඩි දෙකක් කඩා, එකක් කටින් එල්ලාගෙන අනෙක අතේ රඳවාගෙන බහින්නට විය. ගහමුලට පැමිණි ඔහුට යමෙක් තදින් තමාව අල්වා ගන්නවා දැනිණි. ඔහුට ඉබේටම කෑ ගැසිණි. ගස යට සිටියේ තැඹිලි ගහේ හිමිකරුය. හොරාගේ මුහුණට විදුලි පන්දම එල්ල කළ ඔහු විස්මයට පත්විය.

හොරා අන් කිසිවෙක් නොව යාබද නිවසේ හිමිකාරියගේ පුතාය. “අනේ මාමේ අම්මට කියන්න එපා. රස්නේ හින්දයි කැඩුවේ” ගැටවරයාගේ ආයාචනය විය. ඔහුගේ මුව තම අතින් වැසූ තැඹිලි ගසේ හිමිකරු ඔහුගේ හිස පිරිමැද “ශබ්ද කරන්න එපා” යැයි පවසා ඔහු මුදා හැරියේය. පසුව තැඹිලි ගසේ හිමිකරු කාටත් හොරා හීන් සිරුවේ තම නිවසට ඇතුල් විය.

ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.