(මතුගම, පියසේන දොඩන්ගොඩ)
පසුගිය වැසි සුළං සමයේදී මතුගම ප්‍රදේශයේ සිදු වූ රසවත් සිදුවීමක් මෙසේය.
අගිදක්කාගේ ගෙමිදුලේ සරුවට වැඩී තිබුණ කතුරුමුරුංගා ගස ඇය රැක බලා ගත්තේ දැඩි උනන්දුවෙනි. අහල පහළ කාන්තාවක මැල්ලුමකට කොළ අහුරක් ඉල්ලුවත් පාත් වූ අතු කැබැල්ලකින් මේරු කොළ ටිකක් කඩා දී ඇඟ බේරා ගැනීම ඇගේ සිරිතක් විය.
පසුගිය දිනක ඇති වූ මහා සුළං සහිත අනෝරා වැසි දිනක කතුරුමුරුංගා අත්තක් කඩාවැටී බිම පතිත විය. වැස්ස තුරුල් වෙන තුරු සිටි අගිදක්කා ‘‘අපරාදෙනෙ වුණේ, මේ කොළ අතුරිකිලි ටික කඩා විකුණා ගැනීමට සිතූ ඇය, වැටුණ අත්තේ දළු, කොළ, අතු, රිකිලි කඩා මිටි දහයක් තනා ගත්තාය. අල්ලපු වැටේ සිටි ත්‍රීවිල් මල්ලි කැඳවාගෙන ඇය ටවුමට ගියේ කොල මිටි දහය විකුණා මුදල් ලබා ගැනීම සඳහාය. සෑහෙන්න එළවළු ගොඩගසා තිබුණ එළවළු මැහිවල ඇගේ කතුරු මුරුංගා කොළ මිටි ගැනීමට කිසිවෙක් කැමති නොවුණේ එදිනම විකුණා ගැනීමට නොහැකි වුවහොත් පසුවදා කොළ ඉදී හැලෙන බැවිනි. කෙසේ හෝ එක් වෙළෙන්දකු කැමැති කරවා ගෙන කොළ මිටි දහය දුන්නත් ඔහුගෙන් ලැබුණේ රුපියල් සියයක් පමණි. අහල පහළ ගමේ උදවියට කොළ ටික නිකම් නොදී වැඩි තණ්හාවට ගිය අගිදක්කාට ත්‍රිරෝද ගාස්තුව වූ රුපියල් දෙසීය අතිනුත් රුපියල් සියයක් දමා ගෙවා දමන්නට සිදුවිය.