මොරගොල්ලාගම සිසිර කැලේගම
නැන්දම්මාගෙන් හොඳක් ඇසීමට අලුත ගෙනා ලේලිය වෙර දැරුවත් අවසානයේ හොඳ නරකට පෙරලුණු පුවතකි මේ.
සිද්ධිය ඇසෙන්නේ වයඹ පළාතේ රක්ෂිතයක් අවට ගැමි ගම්මානයකිනි.
පවුලේ එකම පුත්‍රයාය. කුඩා කල සිට පිය සෙනෙහස අහිමි ඔහු මව් සෙනෙහස උරුම කොට හැදී වැඩුණු අයෙකි.
පුතුට කෙසේ හෝ ඉගැන්වීම් සඳහා අම්මා කළ උත්සාහය නිසා ලද දැනුමට අනුව රැකියාවකට පිවිසීමේ භාග්‍ය උදා වුණි.
පුතු රැකියාවට යයි. අම්මා නිවසේ පසුවෙනවාය. ඇය නිවසේ දහවල් කාලය ගත කරන කාලය තුළම වත්තේ පිටියේ වැඩවල නියැලෙනවාය.
පිරිසිදුකම අතින් ඇයට හිමි වන්නේ පළමු තැනකි. වට පිටාව පමණක් නොව මුළුතැන්ගෙය පවා පිළිවෙළකටම ඇත.
පාවිච්චියට ගන්නා පිඟන්, කෝප්ප, උයන පිහින මැටි වළංවල පවා කිසිදු පැල්ලමක් නැති වෙන්නට ඇය සෝදනවාය.
මේ නිසාම ගමේ අය ඇයට නමක් දැමුහ. පුතුගේ කල දවස ඉක්ම යන බැවින් මනාලියක ගෙට ගෙන ආවේ ජය මංගල උත්සව ආදියෙන් තොරව අරපිරිමැස්මටය.
පුතු තම මනාලියට කතා කළේය.
‘‘මේ අම්මා එක්ක ඉන්නවා නම් අංක එක පිරිසිදුකම තමයි. මිදුල අතුගාලා රොඩු තැන් තැන්වල ගොඩ ගහන්න එපා. මැටි වළං හෝදනකොට දැලි පොඩ්ඩක්වත් තියෙන්න බෑ. බාත් රූම් පවා එහෙම තිබිය යුතුයි. අම්මා කරලා තියෙන වැඩ දිහා බලලා ඔයත් ඒ විදියට වැඩ කරන්න. එතකොට ගෙනා සීදේවිය මූදේවියක් වෙන්නේ නැති වෙයි.”
මනාලයා පසු දින වැඩට ගියේය. ඇය ඔහු දුන් ඔවදන් සිතට ගත්තාය. ගෙදර බඩුමුට්ටු අතරේ වී තම්බන මුට්ටියකි. එහි යටි පල්ලේ දැලි කප්පරකි. පිරිසිදු කරන්නට ඇය කටයුතු කළාය.
දැලි නැත. සුදු පාටට පිටත දිස්වෙයි. මුට්ටියේ තැලී ඇති කොටසේ ඇදය අරින අතරේ එය හිල් විය.
නැන්දම්මා සිද්ධිය දුටුවාය.
‘‘බලපන් කෝ කොල්ලාගේ වයසත් හරි මේ මුට්ටියේ වයසත් හරි. ඔච්චර කාලයක් පණ මෙන් රැක ගත්තු මේක උඹ හිටි හැටියේ නැති කරලාම දැම්මනේ. ඒක පුදුම මූසල කමක්නේ. ඕක ගිනි රස්නයට හිල් වෙන හින්දමනේ මමත් හේදුවේ නැත්තේ. උඹ ආවාද මට පිරිසිදුකම උගන්වන්න. එල්ලවෙන නින්දා අපහාසවල නිමක් නැත. ඇය නිවසින් පිට වුණාය. ඒ සැණින් ඒ වාගේම මුට්ටියක් අලුතින්ම ගෙන ආවාය. වෙච්ච වැරැද්දට සමාව අරගෙන එය ඇය අත තැබුවාය.
‘‘මේක අලුත් වුණාට මම අවුරුදු තිහකට විතර ඉස්සරලා ගත් පරණ මුට්ටියට කෙසේවත් සම කරන්න බෑ. ඒ හින්දා බිදුණු බදුන්වලට සම කරන්නට අලුත් බදුන් ගෙනෙන්නේ නැතිව පරණ බදුන් පණ මෙන් රැක ගන්නට කටයුතු කරපං.”
ගෙනා දේ මූණට දමලා ගැසුවාක් මෙන් ඇය පෙරළා උත්තර දුන්නාය.
ඇය එතැනින් නික්ම තම කාමරයට රිංගුවාය. සැමියා දුන් ඔවදන් නිසා තමාට වෙච්ච අලකලංචිය පවසන්නට ඇය ඔහු එනතුරු නොඉවසිල්ලෙන් වේදනාවෙන් යුතුව කල් ගත කෙරුවාලු.

