කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
හදිසි අසනීප තත්වයක් නිසා සිහිමූර්ඡා වී සිටි රෝගියකු රෝහලට ගෙන යාම සඳහා නිවැසියෝ සුවසැරිය රථයට දුරකතන ඇමතුමක් දුන්හ. ඒ අනුව ක්‍රියාත්මක වූ සුවසැරිය ගිලන් රථයේ නිලධාරීහු නියම ස්ථානයට පැමිණියහ. රෝගියා පරීක්ෂා කර බැලූ ඔවුහු ඔහු මියගිය බව පැවසූහ. මියගිය අයෙකු සිය රථයෙන් ගෙන නොයන බව පවසා ඔවුහු ආපසු ගියහ.
නිවැසියෝ තමන්ට ලැබී ඇති උපදෙස් අනුව මියගියා යයි කියන තැනැත්තාගේ සිරුර හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මල් ශාලාවකින් අවමංගල රථයක් ගෙන්වාගෙන රෝහලට රැගෙන යාමට කටයුතු කළහ.
මියගියා යයි අවමංගල රථයට දමා සිටි අය කැස්සක් සමග කටින් සෙම දැම්මේය. මෙය දුටු අවමංගල රථයේ අය මේ තැනැත්තා ජීවත්වනු ඇතැයි සිතා අවමංගල රථයෙන්ම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළහ.