කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
මිතුරන් කනට කී උත්තේජනයක් සඳහා කවදාවත්ම නොකෑ දූරියන් කා වැටුණු අලි අමාරුවක් පිළිබඳව අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
හේ අමුතුම ජාතියේ පුද්ගලයෙකි. මිතුරන් දෙන ලණු එහෙම පිටින්ම ගිලිනුයේ ඔහුගේ දැනුවත්භාවයේ තිබුණු දෝෂයක් නිසාම ය. මේ නිසාම මිතුරන් ඔහුට ලණු දුන්නේ වරක් දෙවරක් නොව කිහිපවරක්ම ය.
එදා ඔහු මිතුරු සංගමයට එන විට මිතුරෝ පිරිසක් දූරියන් ගෙඩියක රස බලමින් සිටියහ. දූරියන් සුවඳ දුර තියාම දැණුනු ඔහු එතනට ආවේ නාසය ලේන්සුවකින් වසා ගෙන ය. මේ නිසාම ඔහු කවදාවත්ම දූරියන් කා නොතිබුණේ ය. අඩු තරමින් දූරියන් විකුණන තැනකින්වත් ඔහු නොගියේ ය. දූරියන්වල අධික සුවඳ ඔහුට ගෙන ආවේ දැඩි අප්‍රියාවකි. මෙය ඔහුගේ මිතුරෝ ද දැන සිටියහ.
මිතුරන් එදා දූරියන් කෑවේ මහත් ඕනෑකමින් ය. ඔහුට එය මහත් ප්‍රහේලිකාවකි. යකෝ මට දූරියන් නම් අරහන්. සුවඳ එන කොටත් වමනේ යනවා. ඒකට මුං ටික දූරියන් කන කැත. දැක්කම එපා වෙනවා යයි ඔහු මිතුරන්ට කීවේය. ඒ අතරින් කෙනෙකු ඔහුගේ කනට කොදුරා රහසක් කීවේය. පිස්සු මොන බොරු කතාවක් දැයි ඔහු කීවේ මෙහි ඇත්ත නැත්ත දැනගැනීමත් එක්ක ය.
ඒ සමඟම මිතුරා ඔහුගේ කනට කී රහස සත්‍යයක් යැයි දිවුරමින් කීවේය. අනෙක් මිතුරෝ ද එය සනාථ කළහ. ඒක ඇත්තනම් දූරියන් මදුලක් දෙකක් කන්න මට ආසයි. ඒත් මේ මගුලේ සුවඳ එනකොට වමනේ යන්න එනවනේ යයි ඔහු කීවේය. නාසය වසාගෙන මදුලක් දෙකක් මුලින්ම කෑවම හරි යනවා යයි එවිට මිතුරෝ කීහ. ඒ සමඟම ඔහු නාසය වසාගෙන දූරියන් මදුලක් දෙකක් කෑවේ ය.
ඉන් අනතුරුව ඔහු නාසය නිදහස් කර ගත්තේ ය. ගතවූවේ ටික වෙලාවකි. දූරියන් සුවඳට ඔහුට වමනය ආවේය. එය නවත්වා ගැනීමට ද බැරිවිය. අවසානයේ දී ඔහු නාහෙන් කටින් වමනය කළේය. වමනය ආවේගයට උගුර ද තුවාල වී ලේ වමනය ද දැම්මේ ය. නොනවත්වාම ඔහුට වමනය යයි. ඔහු එදින කෑමට ගත් ආහාර ද වමනය කළේය. මිනිහගේ ඇඟට ද දැන් පණ නැති ගාණය. මිතුරෝ බියවූහ. ත්‍රිරෝද රථයකින් ඔහු රෝහලට ගියේ ඉන් අනතුරුව ය.
රෝහලේ දී ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුගෙන් විස්තර ඇසුවේ ය. දූරියන්වලට අප්‍රියතාවයක් තියෙද් දී ඇයි දූරියන් කෑවේ යයි වෛද්‍යවරයා ඔහුගෙන් ඇසුවේ ය. මහත් ලැජ්ජාවෙන් වටපිට බැලූ ඔහු වෛද්‍යවරයාට ඇත්තම කීවේය. යහලුවන් තමන්ගේ කනට කර කියූ රහස නිසා අප්‍රියාවක් තිබුණ ද දූරියන් කෑ බව ඔහු වෛද්‍යවරයාට කීවේය. එය ඇසූ වෛද්‍යවරයාට ද සිනා නොවී සිටීමට ද බැරිවිය. ඔහු සිනහසුනේ ඒ අවට සිටි අනෙක් වෛද්‍යවරුන් සහ හෙදියන් සමඟ ය.