මැරුණු සැමියා කෝල් එකක් දීලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මියගිය සැමියා තමන්ට දුරකතන ඇමතුමක් දුන්නැයි කියා බිරිය පොලිසියේ පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් පසුගියදා දිවයිනේ දෙවැනි පෙළේ නගරයකින් වාර්තා විය.


වසර ගණනක් ආදරයෙන් බැඳී සිටි යුවළකි. දරු මල්ලන්ගෙන් නිදහස්වීමෙන් පසුවද දෙදෙනාගේ බැඳීම පෙරසේම වූයේය. දරු මල්ලන් නිවෙසෙන් දූරස්වීම හේතුවෙන් දෙදෙනාගේ බැඳීම තව තවත් ශක්තිමත් වූ බව ගමේ අයගේ විශ්වාසය විය.


වසරකට පමණ ඉහතදී සැමියා මියගියේ හදිසියේමය. සැමියාගේ මරණය බිරියට මහත් ශෝකය දනවන කරුණක් වූයේය. දරුමල්ලන් ඥාති හිතවතුන්ගේ එකතුවෙන් යුතුව සැමියාගේ අවසන් කටයුතු කෙරිණි. හත්දින, මෙන්ම තෙමස් දානයේ කටයුතුද මහ හරසරින් සිදු කරනු ලැබුයේ බිරිය සැමියාගේ ගුණ ගයමිනි.


කොරෝනා වසංගතය නිසා සැමියාගේ මරණයෙන් වසර පිරීමේ දානයේ කටයුතුවලට බාධාවක් වූයේ ය. ඒ නිසාම බිරිය දානය පන්සලට ගොස් පූජා කළේ සිතේ සතුටින් නොවේය. සැමියාගේ දානය හරසරින් යුතුව කරන්නට නොලැබීම ගැන බිරිය සිටියේ මහත් සිත් වේදනාවෙනි. මේ අතර දිනක ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආයේය. 


‘මැණිකේ මම කතා කරන්නේ“ පිරිමි කටහඬක් ඇසිණි. “කවුද’’ ඇය ඇසුවාය. අනේ මම මේ කියා පිරිමි කටහඬ ලයාන්විතව සැමියාගේ නම සඳහන් කිරීමත් සමග බිරියට සිහි එළවා ගන්නට බැරිවිය. අනේ මගේ මහත්තයා මට කතා කළා. ඇය අසල්වැසි සියල්ලටම කීවාය. මැරුණු අය කෝල් කරන්නේ කෙසේද කියා අසල නිවෙසක පුංචි පුතකු පැවසීමත් සමග ඇගේ සිහි කල්පනාව ආයේය. මෙය කවුරු හෝ කළ සරදමක් බව තේරුම් ගියේය. .


ඇය ඉක්මනින්ම ඇඳ පැලඳගත්තාය. කුලී රියක් කතා කරගෙන පොලිසියට ගියාය. තමන්ගේ මියගිය සැමියා කතා කළ අංකය සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය. දුරකතනයෙන් කතා කළ සැමියා ඉන්නා තැන පොලිසිය ඉක්මනින් සොයා දෙනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් බිරිය දැන් කල් ගත කරන්නීය.