මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක


කුරුණෑගල ර.මු.වී.ර. බණ්ඩාර


වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සුවසේ සිටීමේ පුවතක් වාර්තා විය.
මධ්‍යම රාත්‍රියේ හදිසියේම හෘදයාබාධයක් වැළඳී රෝහලට ඇතුළත් කළ මිතුරාගේ සුවදුක් සොයා බැලීමට පසුදින රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබන ඔහු සමඟ රෝගය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් තොරතුරු විමසා පසුදින නැවත එන බවට පොරොන්දු වී මිතුරන් පිරිසක් ඔහුගෙන් ඒ මොහොතේ සමුගෙන ඇත.


පසුදින මධ්‍යාහනයේ රෝහලේ රෝගීන් බැලීමට නියමිත කාලයේ  ප්‍රතිකාර ලබමින් සිටි මිතුරා මෙදින පෙරදා සිටි තැනදි දැකගැනීමට නොහැකි වූ අතර දර්ශනය වූයේ මිතුරා ප්‍රතිකාර ලබමින් සිටි ඇඳ වටා රෝගියා නොපෙනන සේ කොළ පැහැති රෙදි ආවරණයක් යොදා තිබීමයි.
ටික වේලාවක් පසෙකට වී බලා සිටියේ වෛද්‍යවරයකු මිතුරාට වෛද්‍ය ප්‍රතිකාරයක් කරන්නේයැයි සිතමින්ය. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියත් වෛද්‍යවරයකු හෝ රෝහල් සේවකයකු ආවරණයෙන් එළියට එන බව නොදුටු නිසා අසල සිටි ආරක්ෂක නිලධාරිනියගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඇය සතුව තිබූ ලේඛනයක් පරීක්ෂාකර “සර් ඒ ඇඳේ පේෂන්ට් මේ දැන් ඩෙත්වුණා”‍ යැයි පැවසීමෙන් දැඩිසේ සංවේගයට පත්වී, එම දැනුම්දීම විශ්වාස නොකර වාට්ටුව භාර හෙද නිලධාරිනිය හමුවී පෙරදින ඇඳේ සිටිය ලෙඩා සම්බන්ධව විමසූවිට ඇය කියා සිටියේත් ‘‘පේෂන් ඩෙත්වුණ”‍ බවයි.
රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි මිතුරාගේ නම සඳහන් කර නැවත වරක් ඇගෙන් විමසුවිට, ඇය සඳහන් කළේ ‘‘ඊයේ හවස පේෂන්ට් දෙකේ වාට්ටුවට  මාරුකළා”‍ කියාය.