මළවුන් ගෙන්වන ශාස්ත්‍ර කාරයා ගරාජ් බාස්ටත් පැරදිලා


(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අනුන්ගේ සිත් කියවිය හැකි බවටත් තමන් මළවුන් පවා ගෙන්වීමට සමත් බවටත් පැවසූ ශාස්ත්‍රකරුවකු කාර්මිකයකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනුන් රවටන්නකු බව හෙළිවූ පුවතක් මීරිගම පෙදෙසේ ගම්මානයකින් වාර්තා විය.


තැනින් තැන යමින් ගුරුකම් කරන කපුවකු මෙන්ම ශාස්ත්‍ර කියන්නකු කාර්මිකයා හමුවට ආවේ ඔහුගේ රියේ කිසියම් අලුත්වැඩියාවක් කරගනු පිණිසය. ආ වෙලාවේ පටන් ඔහු කළේ තමන්ගේ සමත්කම් දස්කම් කියා පෑමය. 


ඔහු වරින් වර මන්ත්‍ර කියමින් ඒවා භාවිතයට ගන්නා ආකාරයද කියන්නට විය. මේ කරච්චලය නිසා තමන්ගේ කටයුතු නිසි පරිදි කරන්නට අපහසු වූ කාර්මිකයා ඔහු පැවැසූ මන්ත්‍රවල කිසියම් අඩුවක් ඇති බවට කරුණු දැක්වූයේය. එහෙත් මේ කාර්මිකයා දන්නා මන්ත්‍රයක් නොවීය. කාර්මිකයා පැවසුවේ තමන් සිතට ආ වදන් පමණි.


‘මහත්තයාත් මන්ත්‍ර දන්නවාද? මම ටිකයි දන්නේ.’ ඔහු කීය. කාර්මිකයා නිහඬව මඳ සිනාවක් පෑවේය.


‘මටත් හිතේ තියෙන දෙයක් කියන්න පුළුවනි.’ කාර්මිකයා කීය. ශාස්ත්‍රකරු ඊට එකඟවීය. දළ කේන්ද්‍ර සටහනක් සලකුණු කළ කාර්මිකයා තමන්ගේ අදහස් කොළ කැබැල්ලක ලියන ලෙසට ශාස්ත්‍රකරුට උපදෙස් දුන්නේය. ඒ අනුව කටයුතු කරද්දී කාර්මිකයා තමන්ගේ සුපුරුදු කාර්යයේ නිරත වූයේය. ‘ඔයාට ඉඩමක් අරගෙන වාහනයක් ගන්න අදහස් කරනවා නේ’ දැයි විමසීමත් සමග ශාස්ත්‍රකරුට ඇතිවූයේ පුදුමයකි. තමන් ලියූ කොළ කැබැල්ල අසල සිටි අයට පෙන්වා ඒ කාරණය ඒ ලෙසින්ම තමන් ලියා ඇති බව පෙන්වීය.


තමන්ගේ ගුරුකම් කටයුතුවලට සහභාගි වෙන ලෙසත් දිනකට රුපියල් පන්දහසක් ගෙවිය හැකි බවත් ශාස්ත්‍රකරු කාර්මිකයාට කීය.


‘අනේ දෙවියනේ බොරු කරලා එච්චර සල්ලි ගන්න බැහැ. මම දාහඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නම්. ඔයා ඔයාගේ බොරුව දිගටම කරගෙන යන්න’ යැයි ඉල්ලා සිටියදී ශාස්ත්‍රකරු නිහඬව සිටියේ තමන්ගේ රියේ අලුත්වැඩියා කෙරෙන තුරුය.