කිලෝ මීටර් 200ක් පමණ ඈතින් තිබූ මළ ගෙදරකට සහභාගි වීමට පැමිණි යුවළක් එම ගමන සඳහා වැයවූ මුදලට හිලව් වශයෙන් හත් දවසෙ දානය දක්වාම එහි ගත කිරීමට කටයුතු කළ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
රජයේ විශ්‍රාමික යුවළකි. පදිංචිය බස්නාහිර පළාතේය. සැමියා පරාර්ථකාමී ගති පැවතුම් ඇති සමාජ සේවකයකු වුවද බිරිඳ නම් තමන්ගේ වාසිය ගැනම සිතන තැනැත්තියකි.
ගම් ප්‍රදේශයේ ජීවත්වූ තම සමීපතම ඥාතිවරියකගේ වියෝව පිළිබඳව පසුගිය දිනෙක ලැබුණු දුරකථන පණිවුඩයකින් මේ දෙදෙනා බලවත් අසීරුවට පත් වූහ.
දෙපාර්ශවයේ පවතින සමීප සම්බන්ධය නිසා මේ මළ ගෙදරට සහභාගි නොවී සිටීමට කිසිසේත් නොහැකිය. පවතින ඉන්ධන හිඟය සහ අධික බස් ගාස්තු ආදිය සලකා බැලූ විට යනවා නොව ඒ පිළිබඳව සිතීමත් බරපතළ ගැටලුවකි.
දෙන්නා දෙමහල්ලන්ට මුහුණ දීමට සිදු වූ මෙම උභතෝකෝටික පැනයට විසඳුම් සෙවීමට දෙදෙනා සාකච්ඡාවක නිරත වූහ.
බිරිඳ කදිම යෝජනාවක් ඉදිරිපත් කළාය .
‘‘අපේ වාහනෙන් ගියොත් රුපියල් හත් අට දාහක තෙල් යනවා, අධිවේගී පාරෙ බස්වල ගියත් ඒ සමාන ගණනක් වියදම් වෙනවා. ඒක නිසා අපි අපේ වාහනෙන්ම යමු. එතකොට ඔය වියදමේ හිලව්වට එමින් ගමන් කොස් පොලොස් ටිකක්වත් දාගෙන එන්න බැරියැ” යනුවෙන් ඈ කළ යෝජනාවට සැමියාගේ ද එකඟත්වය පළවිය.
ඒ අනුව ඔහු එදා දවසම පෙට්‍රල් පෝලිමක ගතකර ගමනට ප්‍රමාණවත් තෙල් සපයා ගත්තේය .
පසු දින ගමනට සූදානම් වන විට ඔවුන් සමඟ නිවසේ ජීවත් වන ඔවුන්ගේ දියණිය සහ බෑණා ඉල්ලා සිටියේ ළමයින් බලා ගැනීමට තිබෙන නිසා හැකි ඉක්මනින් ආපසු පැමිණෙන ලෙසයි.
මළ ගෙදර කටයුතු අවසන් වන විට එදින සවස්වූ බැවින් සිතාගෙන ගිය පරිදි කොස් පොලොස් අල බතල මඤ්ඤොක්කා ආදිය සපයා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවීය. ඒ පිළිබඳව කල්පනා කරමින් සිටින අතර නිවැසියන්ගෙන් ආරාධනාවක් ලැබුණේ
එදින තකහනියේ නොගොස් දවසක් දෙකක් ගතකර යාමට එහි නතරවන ලෙසයි.
එම යෝජනාව, මහත්තයාට කෙසේ වෙතත් නෝනාට නම් ඉබ්බා දියේ දැම්මා මෙන් මහත් සතුටට කාරණාවක් විය.
එදින රාත්‍රී නින්දට ගොස් සිටිය දී ඇයට හැඳිමිටේ නුවණ පහළ විය. සැමියාගේ කනට කර රහසින් මෙසේ කීවාය. ‘‘දැන් මෙහේ ගෙදර කට්ටියගෙත් කැමැත්ත ලැබිල තියෙන එකේ මේ සතියම මෙහේ ගත කරල හත්දවසෙ දානෙටත් ඉඳලම යමු. කෑම වේල්ම කීයක් පිරිමැහෙනවද ? කාලෙ හැටියට ඒකම මදෑ. මේ අවුරුදු ගණනාවකට පස්සෙ නොවැ මෙහේ ආවෙත්.”
තම බිරිඳගේ කාලෝචිත යෝජනාවෙන් පවතින ආර්ථික අමාරුකමට ලැබෙන අස්වැසිල්ල ගැන සිතූ සැමියා ද යෝජනාවට එක පයින් එකඟත්වය පළ කළේ ඔහු කැමති වුණත් නැතත් හැමදාමත් ඇයගේ කැමැත්තට ඉඩදීමට ඔහුට සිදුවන බැවිනි.
පසුව එළඹි දින කීපයේ ගමේ සෙසු ඥාති හිතවතුන්ගේ නිවෙස්වලට ද ගිය ඈ තම ඇති හැකි කම් සහ දරුවන්ගේ බලපුළුවන්කාරකම් ගැන පම්පෝරි ගැසීමටද එය මහඟු අවස්ථාවක් කර ගත්තා පමණක් නොව හත් දොහේ දානය අවසන්වී යන විට ගෙන යාමට වාහනේ පිරෙන්නට හාල්, පොල්, කොස්, පොලොස්, බතල, මඤ්ඤොක්කා, කුරුඳු, ගම්මිරිස් පමණක් නොව දර මිටි දෙක තුනකුත් සපයාගෙන තිබුණා ලු.