මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා


(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකුට, එදිනෙදා කරන ක්‍රියා පොතක සටහන් කිරීමට සිදු වූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.


තරුණයාගේ නිවෙසේ වැඩිහිටියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයාත් ඔහුගේ පියා හා සහෝදරියත් කැඳවා විමර්ශනයක් කළ බවත්, අවිවාහකයකු වන තරුණයා මවුපියන්ගෙන් සහ සහෝදරියගෙන් මුදල් ඉල්ලා කරද කර ඇති බවත් මෙහි දී හෙළිදරව් විය. 


තර්ජනය කර ඉල්ලා ගන්නා මුදල්වලින් මිතුරන් සමග මත්පැන් පානය කර සවස නිවෙසට පැමිණ ආහාර සඳහා සකසා ඇති කෑම හොඳ නැති බව පවසා කලහකාරී ලෙස හැසිරෙමින් නිවෙසේ ඇති බඩු බාහිරාදියට හා උපකරණවලට පහර දෙමින් හානි සිදුකරන බව විමර්ශනයේදී අනාවරණය විය.


තරුණයා අධිකරණයට ඉදිරිපත් නොකර දැඩිව අවවාද කරන ලෙස පියා සහ සහෝදරිය ඉල්ලා සිටි අතර, තරුණයා පොලිසියේදී තම පියාගේ සහ සහෝදරියගේ දෙපාමුල වැඳ වැටී නැවත වැරැදි නොකරන බවට පොරොන්දු වී සමාව අයැද සිටියේය. 


පොලිසිය තරුණයාට කරුණු අවබෝධ කර දී දැඩි ලෙස අවවාද සිදු කර තරුණයා එදිනෙදා කරන ක්‍රියා පිළිබඳව නිවැරැදිව තොරතුරු සටහන් කිරීමට පොතක් සකසා තබාගන්නා ලෙස ද උපදෙස් දුන්නේ, එය සතියකට වතාවක් ගෙනැවිත් පෙන්වන ලෙසට ද දන්වමිනි. තරුණයාගේ පියා සහ සහෝදරිය පොලිසියට ප්‍රසංශාව පළ කරමින් තිදෙනාම සතුටින් පිටව ගියහ.