මවට කොකා පෙන්නා පෙම්වතා එක්ක පැන ගිහින්


බදුල්ලේ පාලිත ආරියවංශ 



මව සමග බදුල්ල ශික්ෂණ රෝහලේ වකුගඩු සායනයට පැමිණි 22 හැවිරිදි අන්ධ තරුණියක සායනයේ දී මවට කොකා පෙන්නා පෙම්වතා සමග යාමේ පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.
මෙම තරුණිය  වකුගඩු ‍රෝගියෙකු මෙන්ම, අධික සීනිවලින් ද පෙළීම නිසා දෑස අන්දවීමට ලක්වූ තරුණියකි.
වකුගඩු සායනයට පැමිණ දියණිය සායනයේ පුටුවක වාඩිකරවා තබා  ලේ වාර්තාවක් ලබාගැනීම සඳහා රුධිර අංශයට ගිය අවස්ථාවේ දියණිය අතුරුදන්ව තිබිණ.
දෑස් නොපෙනෙන නිසා ඇයට තනිවම ඇවිදීමට නොහැකි බව පවසමින් රෝහල් කාර්යමණ්ඩලයේ ද සහාය ඇතිව දියණිය සොයා බැලු‍වත් හමුනොවූ නිසා බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබේ.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අතුරුදන් තරුණිය සොයා බදුල්ල රෝහල අවට මෙන්ම නගරය පුරා සෝදිසියක් ද ආරම්භ කර ඇත. පැය තුනක පමණ කාලයක් සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී  බදුල්ල ශික්ෂණ රෝහලේ ආරක්ෂක කැමරා (CCTV)  ද පරීක්ෂා කර තිබේ.


මව ඉදිරියේම පොලිසිය කැමරා දර්ශන  පරීක්ෂාව සිදුකළ අතර  අන්ධ තරුණිය තරුණයෙකුගේ අතේ එල්ලී ගොස් ත්‍රිරෝද රථයක නැගී රෝහලෙන් පිටව යන අයුරු  රූගතවී ඇති අයුරු දැක තිබේ.
රූගතවී ඇති දර්ශන අනුව පොලිසිය ත්‍රිරෝද රථයේ අංකය ද  එහි හිමිකරුගේ නම ද සොයාගෙන ඇත.
විමර්ශන මෙසේ සිදුවෙද්දී එතෙක් ක්‍රියා විරහිතව තිබූ දියණියගේ දුරකථනයෙන් මවට ඇමතුමක් ලැබී තිබේ.
තමා පෙම්වතා සමග කොළඹ යන  බවත් ඒ වනවිට රත්නපුරය පසුකර ඇති බවත් දියණිය පවසා ඇත.
පොලිසියට ඇයට කතාකර මේ තොරතුර සනාථ කරගෙන ඇති අතර තමා යන්නේ වසර 3 ක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන  පෙම්වතා  සමග  බව තරුණිය පොලිසියට පවසා ඇත.
කර කියා ගත දෙයක් නොමැතිවූ මව ‘අනේ සර් මම නම් මේ සම්බන්ධයක් දැනගෙන හිටියේ නැතැ’ යි  පවසමින් පොලිසියෙන් පිටවී ගොස් ඇත්තේ තවත් පරීක්ෂණ ද අනවශ්‍ය බව පවසමිනි.