දකුණේ වෙරළබඩ උප නගරයක් ආශ්‍රිත පාසලකි. විවේක කාලයේ පාසල් සිසුන් ක්‍රීඩා පිටියට එක්ව සිටි අතර සීනු නාදයත් සමඟ ඔවුන් යළි පන්ති කාමරවලට ගියත් සාමාන්‍ය පෙළ පන්තියක සිසුවියන් දෙදෙනකු යළි ආපසු පැමිණ සිටියේ නැත.
පන්ති භාර ගුරුවරයා ඔවුන් පිළිබඳව සෙව්වද සොයාගත නොහැකි වූයෙන් විදුහල්පතිවරයාට දැන්වූයේ දැඩි විමතියකිනි. මොහොතකින් සිසුවියන් දෙදෙනා පාසලට දිව ආවේ හතිලමිනි. “කොහෙද ළමයිනේ ගියේ. “මම ගිනිපත්තුවෙලා හිටියේ” පන්ති ගුරුවරයා විමසුවේ තරමක කෝපයකිනි. “සර් මෙයා ඊයේ ගෙදරදි මල්ලිත් එක්ක රණ්ඩුවෙලා තාත්තා කිව්වලු ආයෙ රණ්ඩු වුණොත් කෝටුවකින් නෙවෙයි මඩු වලිගෙන් ගහනව කියලා.
මෙයා මඩුවලිගදැකල නෑ. අපේ ගෙදර එකක් තියෙනවා. ඒක පෙන්නන්න එක්ක ගියා” ඇය සිය යෙහෙළිය පෙන්වමින් කී විට යෙහෙළිය ලජ්ජාවෙන් ඇඹරුනාය. “ඒත් අවසර නැතිව ඉස්කෝලෙ වෙලාවෙ එහෙම යන්න බෑ” කී විදුහල්පතිවරයා “මඩුවලිගේ ගැන අහල තිබුණට මාත් දැකල නං නෑ” පන්ති ගුරුවරයාට කීවේ මහ හඬින් සිනාසෙමින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

