මඟුල්ගෙයක් හිතේ තියාගෙන මළගෙදරක ඇවිත්


පසුගිය දිනෙක වයඹ ගමක එක්දරු පියෙක් හදිසියේ මිය ගියේය. තුරුණු වියේ සොඳුරු පෙනුම තවමත් පහව ගොස් නොමැති ඔහු ප‍්‍රදේශයේ ජනපි‍්‍රය පුද්ගලයෙකි. ඔහු දන්නා උදවිය වගේම බොහෝ ප‍්‍රදේශවල හිතවත්හු ද බොහෝ වූහ. එම නිසා ඔහුගේ මරණය සිදුවූ දා සිට අවසන් කටයුතු සිදු කළ අවස්ථාව දක්වා විශාල ජනගඟක් ඔහුගේ නිවසට ගැලූවාය. ඔහුගේ බිරිය ගේ හැඩ වැඩ තවම අඩු වී නැත. දරුවා සමග නොසිටින විට දරුවකු සිටින මවකයැයි අනුමාන වත් කළ නොහැකි තරමට ඇය රූමත්ය. සැමියාගේ සමීප මිතුරකු ද අවමඟුලට සහභාගි වූවා පමණක් නොවේ තම මෝටර් රථය පාවිච්චි කරමින් යම් යම් කටයුතුවලදී උදවු කළේ පවුලේ ඥාතියකු පරිද්දෙනි. වැඩි වශයෙන් කාලය ගත කළේ මිතුරාගේ පුංචි පුතා සුරතල් කරමින් ඔහු සැනසීමටයි. එය මියගිය මිතුරාගේ බිරියට ද ලොකු සහනයක් විය. අවසන් කටයුතු නිමවීමෙන් පසු දුර බැහැරින් පැමිණි පිරිස් ආපසු යාමට සමුගත්හ. හත්දවසේ දාන පින්කම සඳහා මුදල් පරිත්‍යාග පවා සමහරු සිදුකළහ. සමීප මිතුරාද මිතුරාගේ බිරියගෙන් සමු ගත්තේ දානය දවසට පෙර දවසේ තමන් පැමිණෙන බවට පොරොන්දුවක් ද දෙමිනි. ඒ සමග මෙතන සුළු මුදලක් ඇති මට පිං සිද්ධ වෙන්නත් එක්ක දානෙට වියදම් කරන්න කියා ලියුම් කවරයක් ඇය අත තැබුවේය. බිරියට ඒවා පරීක්‍ෂාවට වෙලාවක් හා මානසිකත්වයක් නොවූයෙන් එම කටයුතු කළේ ඇගේ සොයුරියකි. ලියුම් කවරය තුළ රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සමග කුඩා ලිපියක් ද විය. එහි ලියා තිබුණේ ”ඔයත් දරුවත් තනි වෙන්න මම ඉඩ නොතබමි. ඔයාගේත් දරුවාගේත් ජීවිත වල අනාගත වගකීම මට බාර දෙන්න. හත් දවසේ තුන් මාසේ දාන කටයුතුවලින් පසු තීරණයකට පිවිසෙමු’’ යනුවෙනි. ‘‘දෙය්යෝ සාක්කි මේ මිනිසා මළගෙදර ඉඳලා තියෙන්නේ හිතෙන් මඟුල් ගෙයක් මවාගණනේ” බිරිය නැගණියට පවසා දෑසේ කඳුලූ පිස දැම්මාලූ.