මඟුල් ගෙදර පොල්ගෙඩිය බිඳින්න ගිහින් පිඟන් 40 ක අලාභයක් ගෙවන්න වෙලා


වස්දොස් යන්නට චාරිත‍්‍රයක් අකුරට ඉටු කිරීමට ගොස් දැරිය නොහැකි පාඩුවක් සිදුවූ කතාවකි මේ. පදිංචි ගමේ වුවත් ඔහු අතගත් මනාලිය අගනුවරට සමීපයැයි කියන ප‍්‍රදේශයකය. එනිසාම මංගල්‍ය ජයටම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ලටම අවශ්‍යයව තිබිණි. ඒ සඳහා තරු හෝටලයක් තෝරා ගැනිණි. කකුල්වල එල්ලෙන කූඩැල්ලන් ගලවමින් ගමේ අතුරු මාර්ගයෙන් ප‍්‍රධාන මාර්ගයට පිවිසි මනමාලයා ඇතුළු පිරිස එහි නවතා තිබූ සැප වාහනයෙන් අගනුවරට පැමිණියහ. ප‍්‍රසස්ති සහිත පිළි ගැනීමේ ගීත බෙරනද නර්තන මධ්‍යයේ දෙපාර්ශවයේම පිරිස උත්සව ශාලාවට ඇතුළු වූහ. උත්සව ඇරඹී මුලින්ම විවාහය ලියා පදිංචි විය. අනතුරුව ආරම්භවූයේ කතාවට මූලාශ‍්‍රවූ පෝරුවේ චාරිත‍්‍රයයි. ශ්ලෝකද ගලාගිය අෂ්ඨක අර්ථවත්ය. සියල්ල අංග සම්පූර්ණය. කෝ......කෝ......ඔය පොල් ගෙඩිය මෙහාට ගේන්න. වැඩිහිටියෙක් දෙස බලා අෂ්ඨක ගුරුන්නාන්සේ කීය. වටපිට බලමින් එකිනෙකා මූණ බැලීය. ඒ සඳහා කෙනකු නැත. පොල්ගෙඩිය කැත්ත කපුරු පෙත්ත සූදානම්ය. කපුරු පෙත්ත පොල් ගෙඩිය මත දල්වා තැබූ අෂ්ඨක ගුරුන්නාන්සේ තම කටයුත්ත ඉදිරියට කරමින් උගුරේ රැල් බුරුල් කර තවත් ගාථා පාඨයකට මුල පිරීය. කෝ....කෝ මේ පොල්ගෙඩිය බිඳින මාමා......පිරිස අතර කසු කුසුවකි. මෙහෙ එන්න මෙහෙ එන්න අසල සිටි අයෙක් තවත් අයකු අමතා ඉදිරියට ගෙන්වා පොල්ගෙඩිය බිඳින රාජකාරිය පැවරුවේය. ඔයාට තියෙන්නේ අතනින් කිව්වාම. පොල්ගෙඩිය එක පාරින් බිඳෙන්න ගහන්නයි. හරි හරි ඔහු වැඬේ භාර ගත්තේය. වේලාව ආවේය. හරි හරි බිඳින්න බිඳින්න ඉහළින් අණ ලැබුණේය.  දඩාං... මන්නා පාරක් පොල්ගෙඩියට එල්ල කළේය. පිඟන් ගඩොල් මත තිබූ  රෙදි කැබැල්ලක්ද සමගින් පොල් ගෙඩිය මීටර් 20ක් පමණ දුරට විසිවී ගියේය. අභිනවයෙන් පත් කළ මාම කලබල විය. වහා එතැනට දිව ගියේය. තවත් පාරක් එල්ල කළේය. එතැනටද වහා දිව ගිය ඔහු තවත් පාරක් පොල් ගෙඩියට එල්ල කළේය. එවිටද පොල් ගෙඩිය පිඟන් ගඩොල් මතින් ලිස්සා ගොස් තවත් තැනක පතිත විය. පෝරුව අවට එක්ව සිටි පිරිසගේ කසුකුසුව වැඩි විය. පොල්ගෙඩිය හඹාගිය අභිනව මාමා තවත් පාරක් එල්ල කිරීම සඳහා මන්නය ඉහළට එසවූයේය. සලාං ! බලාං ! යුවල පෝරුවෙන් බසිද්දී එහි වස්දොස් යාම සඳහා ඇසෙන පොල් ගෙඩියේ ශබ්දය වෙනුවට මුළු හෝටල් ගොඩනැගිල්ලම දෙවනත් කරමින් මිටෙන් ගැලවී ගිය මන්නා තලය හෝටලයේ ජනෙල් වීදුරුවක් බිම පතිත විය. විවාහ මංගල උත්සවයේ පිඟන් 40කට ගෙවිය යුතු මුදලට සමාන මුදලක් වීදුරුව සඳහා ගෙවීමට දෙපාර්ශවයම එකඟ විය.