(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
විවාහ දිනයේ නිදහස් ඡායාරූප (ප්‍රී ෂූට්) නොගත්තේ යැයි පසුතැවිලි වන ලේලිය නැන්දම්මාගෙන් රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ඉල්ලීමේ සිද්ධියක් වැලිමඩ බොරලන්ද අවට ගම්මානයකින් අසන්නට ලැබේ.
දැනට මාස කිහිපයකදී වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ තරුණයකු වෙනත් ප්‍රදේශයක තරුණියක් විවාහ කරගෙන ඇත. ඡායාරූප ශාලාවකින් මංගල ඡායාරූපය රැගෙන ඇත. මාස කිහිපයක්ම සැමියාගේ පවුලේ සාමාජිකයන් සමග ඇය සුහදව ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.
මේ අතර අලුත ගෙනා මනමාලිය සමග නැන්දම්මා අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේ දුටු විවාහ මංගල්‍යයක ඇල්බමයේ ඇති විවිධ ඉරියව් සහිත ඡායාරූප ගැන ඇගේ සිත ඇදී ගොස් ඒ පිළිබඳව නිවැසියන්ගෙන් තොරතුරු විමසා තිබේ.
මෙවෙලෙහි මංගල ඡායාරූපවල මනාලියව සිටින තරුණිය රසවත් අන්දමට කරුණු කියා තිබේ. විවාහ උත්සවයට පෙර මනාලිය මනාලයා සමග සුන්දර ස්ථානවලට යමින් ඡායාරූප ගන්නා අන්දමත්, මේ සඳහා ඡායාරූප ශිල්පියාට රුපියල් ලක්ෂ ගණන් වැය වන බවත් එම තරුණිය පවසා ඇත. මෙම කතාව ඇසීමත් සමගම අලුත විවාහ වුණ තරුණියට ද තම විවාහ දිනයේදී මෙසේ අලංකාර ලෙසින් ඡායාරූප නොගැනීම ගැන පසුතැවිල්ලක් ඇතිව තිබේ.
නිවෙසට ආ පසු එද්දී තම විවාහයේදී නිදහස් ඡායාරූප නොගැනීම ගැන ඇය තම නැද්දම්මා සමග කතා බහක නියැලී ඇති අතර, නිවෙසට පැමිණීමෙන් පසු සැමියාට ද මෙවැනි ඡායාරූප ඇල්බමයක් සකස් නොකිරීම ගැන දොස් පවරා ඇත. නැන්දම්මා ලේලියගේ සිත සැනසීමට විවිධ කතා කියා තිබේ.
මෙම ගැටලුව සති ගාණක් ඇදී ගොස් අවසානයේ ලේලිය තම නැද්දම්මාට අපූරු විසඳුම් යෝජනාවක් ගෙනවිත් ඇත. ඒ නැවත විවාහ නිදහස් ඡායාරූප නොගන්නේ නම් තමන්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන ලෙසයි. තම ලේලියගේ යෝජනාවෙන් සසල වූ නැන්දම්මා තමන් පත්ව ඇති අසීරුතාව අසල්වැසියන්ට ද පවසා මෙයින් බේරීමට උපදෙස් පතා ඇතැයි ද පැවසේ.