බෝතල්වල අඩියේ තිබූ කසිප්පු එකතුකර බී උසාවි බිමේ යකා නටලා


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී උසාවි භූමියේ හිස්කරන ලද කසිප්පු බෝතල්වල අඩියේ තිබූ කසිප්පු බිංදු එකතු කර පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී යළි අත්අඩංගුවට පත් සැකකරුවකුට බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය රුපියල් පන්දහසක දඩයක් නියම කළාය.


මෙසේ දඬුවම් නියම වූයේ බටපොල බලබැද්දේ කසුන් කල්‍යාණරත්න නමැත්තකුටය.


ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී මීටියාගොඩ පොලිසිය විසින් මේ සැකකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීම නිසා ඔහුට දඩ මුදලක් ගෙවීමට නියම වීමෙන් පසු එම දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුට බළපිටිය අධිකරණ භූමියේ ප්‍රජා සේවයේ යෙදීමට නියෝග කර ඇත. 


අධිකරණභූමියේ ප්‍රජා සේවයේ යෙදී සිටියදී තිබූ නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත්කොට ඇති මත්පැන් රැගෙන ආ බෝතල් අඩියේ තිබූ මත්පැන් බිංදු එකතුකොට ඒවා පානය කළ සැකකරු බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.


බළපිටිය අධිකරණ පොලිස් ඒකකයේ සේවය කරමින් සිටි අම්බලන්ගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කරුණාතිලක, බෙන්තොට පොලිසියේ පොලිස් කොස්තාපල් තුෂාර සමරසිංහ (34100) යන නිලධාරීන් විසින් මේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.