බොත්තම් අවුලෙන් සාත්තුවත් අමතක වෙලා


කලිසමේ බොත්තම් නිසා අසාධ්‍ය රෝගියා අතරමං කොට රෝහලෙන් පැනයාමේ පුවතක් අනුරාධපුරයෙන් අසන්නට ලැබුණි. 
සිද්ධිය කෙටියෙන් මෙසේය. 
එය එම පළාතේ මහ රෝහලකි. රෝහල් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූවේ  පොළඟෙකු දෂ්ට කළ රෝගියෙකි. ඔහු ළඟ ආවතේව කිරීමට නතර වී සිටියේ අප කතානායක කලිසමේ බොත්තම්කරුවාය. ඔහු එම රෝගියාගේ මාමාය. බොත්තම් කාර මාමා නිහඬ පුද්ගලයෙකි. සාන්ත දාන්ත තීන්ත කුප්පියකි.
දිනක් රෝගී බෑනා සමීපයේ හිස් ඇඳක වාඩිවී සිටි මාමා එක කකුලක් උඩට ඔසවා රෝගී බෑනාගේ ඇඳ මත තබාගෙන අසංවර ඉරියව්වෙන් සිටියේය. ඔහුගේ මේ ඉරියව්ව දෙස ඈත තියා බලන්නෙකුට වුවද එහි අමුතු යමක් දර්ශනය වීම පුදුමයක් නොවේ. එනම් ඔහු ඇඳ සිටි කලිසමේ ඉදිරියේ බොත්තම් කීපයක් ගැලවී ගොස් තිබූ නිසා එම දර්ශනය පිළිකුල් සහගත විය.


මේ පිළිබඳව වාට්ටුවේ හෙදියක දැක තිබූ නිසා ඇය ඔහු ළඟ සිටි රෝගියා සමීපයට ගොස් රෝගියාට සේලයින් දෙන අතරතුර  මාමාගෙන් මෙසේ විමසුවාය. 
‘‘මේ තාත්තා, හිතලද වැරදිලා ද ඔහොම ඉන්නේ.’’ 
මාමා ප්‍රශ්නය තේරුම් ගත නොහැකිව අන්දමන්දව තමාගේ ශරීරය දෙස බලන්නට විය. එවිට ඔහු ඔහුගේ කලිසමේ බොත්තම් ගැලවී ගොස් ඇති අයුරු දැක මහත් ලැජ්ජාවට පත්විය. 
ඊළඟ නිමේෂයේ හෙදිය රෝගියාගේ ඇඳ ළඟට යන විට සාත්තු සප්පායම් කිරීමට පැමිණ සිටි මාමා රෝහලෙන් අතුරුදන් වී සිටියේය. 
‘‘මේ කතාව මාමාගේ ඥාතීන්ටත් සැලවිය. රෝගියා සුව වී නිවසට පැමිණ ඇතත්, ගම් පළාතේ උදවිය මාමා දකින විට”‍  ‘‘හිතල ද වැරදිලද කියපන් ඇත් රජුනේ”‍ යන ගීතය ගායනා කරන බව දැන ගැනීමට ලැබුණි.

කැබිතිගොල්ලෑව 
හේමන්ත රණසූරිය