(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳාගේ පාවිච්චියට සීට්ටුවක් දමා එකතු කර ගත් මුදලකින් රුපියල් 18000 ක් ගෙවා ගෙනත් තිබූ ළදරු උපකරණ තොගයක් රුපියල් 2,000 ට උකසකට තබා ඇතැයි කියන තරුණ සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
20 හැවිරිදි තරුණියක් ඇඟලුම් ආයතනයක රැකියාවකට ගොස් සිටියදී එම ආයතනයේ රැකියාවකට ගොස් සිටි 24 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තාය. තරුණයා මාස ගණනාවකට පසුව දෙපාර්ශ්වයේම මව්පියන්ට නොදන්වා සිය පෙම්වතිය තරුණයාගේ ඥාති නිවෙසකට රැගෙන ගියාය.
මාසයක් පමණ ඥාති නිවසේ කල් ගෙවන අවස්ථාවේ දී තරුණයාගේ මව්පියෝ ඔහුගේ සිය නිවෙසට නව යුවළ කැන්දා ගත්හ.
තරුණිය සිය පෙම්වතාට ඇඟලුම් ආයතනයේ රැකියාවට යාමට කතා කළත් තරුණයා එය ප්‍රතික්ෂේප කළේය. පසුව තරුණිය පෙම්වතා නිවසේ දමා ඇඟලුම් ආයතනයේ රැකියාවට යමින් එමින් සිටියාය.
මීට මාස පහකට පමණ ඉහතදී දිනක් තමා මවක වී ඇතැයි තරුණිය තරුණයාට කීවාය. ඒත් තරුණයා කිසිම දෙයක් ගණන් නොගෙන සුපුරුදු පරිදි ගමේ කරක්ගසමින් සිටියේය.
සිය තරුණ සැමියාගෙන් තමාගේ ජීවිතයට සත පහක උදව්වක් පදව්වක් නොමැති බව වටහා ගත් තරුණිය අනාගතයේදී බිහි කිරීමට සිටින දරුවාට අවශ්‍ය උපකරණ ටිකවත් ගන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වූවාය. ඔය අතරේ ඇඟලුම් ආයතනයේ තරුණියන් පිරිසක් මාසකට රුපියල් 2000 ක සීට්ටුවක් දැමීමට කතිකා කර ගන්නා අයුරු. දැක ඇයද ඊට එක් වූවාය.
තරුණ ගැබිනිය ගිය මාසේ සීට්ටුව ගෙන තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳාට අවශ්‍ය බඩුමුට්ටු තරුණ සැමියා සමග නගරයට ගොස් නිවෙසට ගෙනාවාය.
පසු ගිය දිනක තරුණ ගැබිනිය වැඩට ගොස් නිවෙසට පැමිණෙද්දී බිලිඳාට ගෙනත් තිබූ බඩුමුට්ටු ටික නොමැති බව දැනී ඒ පිළිබඳ තරුණ පෙම්වතාගෙන් විමසුවාය. එහිදී තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් බඩුමුට්ටු ටික ගෙන අහවල් තැනට දී රුපියල් 2000 ක මුදලකට උකස් කළ බවය. එයින් තමන් යහළුවන් සමග එක්වී හොඳ සාදයක් දැමූ බවද ඔහු පැවසුවේ කිසි ගණනකට නැතිවය.
පසුව තරුණ ගැබිනිය උකස් තබා තිබුණු නිවෙසින් යළි රුපියල් 2,200 ක් දී නිවසට ගෙනා බඩු මුට්ටු ටික අල්ලපු නිවසේ පදිංචි තරුණයාගේ පුංචි අම්මාගේ නිවෙසේ ආරක්ෂාවට තබා ඇත්තේ අනේ මෙහෙමත් මිනිස්සු යැයි තම සැමියාට ද දොස් තබමිනි.