බිරිඳට අවුරුදු සිරි පෙන්වූ සැමියා කතක් සමඟ ගේ ඇතුළේ


බිරිඳත් දරුවාත් අවුරුදු උත්සවයකට ඇරලවූ පියෙකු මහ දවාලේ අසල්වැසි කාන්තාවක සිය නිවසට ගෙන්වාගෙන සතුටුවී එළියට එන විට බිරිඳට අසුවී සිදුවු ජංජාලයකි.

අගුණකොළපෑලැස්ස පොලිසියේ අපරාධ අංශයට කැඳවා සිටි තිදෙනෙකි. ඔවුන් අතර සුළු තුවාල ලැබූ කාන්තාවක් සිටි අතර අවිවාහක ඇයගේ වයස  අවුරුදු 38 කි. සිද්ධියේ පැමිණිලිකාරිය ඇයයි. අනෙක් කාන්තාව එක්දරු මවකි. ඇයගේ වයස අවුරුදු 37 කි. ඔවුන් අතර සිටි පිරිමියාගේ වයස වයස අවුරුදු 38 කි. 

අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී. වරුෂ විතාන මහතා තිදෙනාගෙන් මේ පිළීබඳව විමසා එය විභාග කිරීමට විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා වෙත යොමු කළේය.

පැමිණිලිකාර කාන්තාව: සර් මම මෙයාලගේ ගෙදර ළඟින් අද දවල් පාරෙ යන කොට මේ මනුස්සයා දුවගෙන ඇවිත් මට විසි කැත්තෙන් ගැහුවා.

චූදිත කාන්තාව: සර් ඒක අමූලික බොරුවක්. මේ ඉන්නෙ මගෙ මිනිහා මෙයා අද උදේ මට කිව්වා දරුවත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යමුය කියා. මම කැමැති වෙලා මෝටර් සයිකලෙන් අවුරුදු උත්සවේ බලන්න ගියා. දරුවයි මමයි ඇරලවලා මෙයා ඉක්මනට ගෙදර ගියා.

ටික වේලාවකට පස්සෙ මම ගෙදර ගියා. අපි ගියේ දොර වහල යතුරු තැනක හංගලා. මම ගිහින් බැලූවාම එතන යතුර තිබුණෙ නෑ. මට මේ ගැන සැක හිතුණා. මේ මිනිහයි මේ ගෑණියි අතර සම්බන්ධයක් තියෙන බව මම කලින් දැනගෙන හිටියා. කොයි වෙලාවකහරි එළියට බහිනතෙක් මම හැංගිලා හිටියා.
ඒ වගේම ටික වේලාවකට පස්සේ දොර ඇරගෙන මිනිහ එළියට බැහැලා වටපිට බලා ගැනි එළියට දැම්මා. එතකොටම මම මගේ අතේ තිබුණ විසි කැත්තෙන් මේ ගෑණිට ගැහුවා.

කාන්තාවන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට එක් කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැත. 

උප පොලිස් පරීක්ෂකවරයා දෙපාර්ශ්වයටම කරුණු පහදා දී සමථයකට පත් කිරීමට උත්සාහගත්තද එය පළක් වූවේ නැත.

මෙය විසඳීමට උසාවි යාමට අවශ්‍ය බව පැමිණිලිකාර කාන්තාව තරයේම කියා සිටියාය. අනතුරුව මෙය අගුණකොළපෑලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී චූදිත කාන්තාව ඇප මත මුදා හරිනු ලැබුවාය.