බලංගොඩ – වයි.ඒ.එස්. වීරවංශ
මෙය බලංගොඩ නගරයට ආසන්න ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි.
පොසොන් පොහොය දින තරුණ යුවළක් බලු කපුටු දානයක් දෙන්න තීරණය කළහ. ඒ අනුව ඔවුහු උදෑසනම දානය සූදානම් කර කැන්ද කොළ ටිකක් කඩාගෙන තම යතුරුපැදියෙන් බල්ලන් (සුනඛයන්) සහ කපුටන් සොයමින් මාර්ගයේ ගමන් කළහ.
ටික දුරක් ගමන් කරන විට සුනඛයෙක් හමුවිය. ඒ අනුව එම සුනඛයාට ආහාර ලබා දී වටපිට බැලූහ. ඒ අසල ගෙවත්තක අලිගැටපේර ගසක පිරෙන්නම ගෙඩි හැදිලාය.
තරුණිය තරුණයාට කීවේ අලිගැටපේර ටිකක් කඩාගමු කියාය.
ඒ අනුව තරුණයා පේර කඩන්න සූදානම් වෙනවාත් සමගම එම ගස හිමිකරු එය දුටුවේය.
මොනවද ළමයි ඔය කරන්නේ, බලු කපුටු දානෙ දෙන්න ආවනම් ඒක කරන්න. අනෙක මේ පොසොන් පොහොය දවසෙ හොරකම් කරන එක හොඳ නැහැනේ.
ඔහු කීවේය.
තරුණ යුවළ කිසිවක් නොකියා යතුරුපැදියේ නැගී වේගයෙන් පිටව ගියහ.