අමුතුම ක්‍රමයකින් සුනඛයකු එළවීමට ගොස් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණු පළාතේ උප නගරයක් ආසන්නව පිහිටි ග්‍රාමයක නියඟය දුරුවීමටත් බව භෝග ආරක්ෂා කර ගැනීමත් උදෙසා ගොවි ජනතාව සහ ගම්වාසීන් එක්ව සංවිධානය කරන ලද ගම් පිරිතකි.
සියලු දෙනාගේ කැපවීම මත කුඹුරු යායක් මැද ඉදිකරන ලද අලංකාර පිරිත් මණ්ඩපයක තුන් තිස් පැයේ පිරිත ආරම්භ කිරීමට තවත් තිබුණේ විනාඩි කිහිපයක් පමණි. පිරිත් මණ්ඩපය අවට පිරිත් ඇසීම සඳහා රැස්ව සිටියේ විශාල පිරිසකි.
හේවිසි හඬ මධ්‍යයේ භික්ෂුන් වහන්සේලා මණ්ඩපයට වැඩම කර, පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවා පිරිත් දෙසුම ආරම්භ කිරීමට සූදානම් වූ මොහොතයි. ගිගිරි වළලු අතකර පැලැඳ අලංකාර ඇඳුමින් සැරසුනු බෙර වැයුම්කරු බෙරය ද රැගෙන පිරිත් මණ්ඩපය ඉදිරියේ පෙනී සිටියේ තේජාන්විත ස්වරූපයෙනි.
එම අවස්ථාවේ හදිසියේම එතැනට දිව ආවේ සුනඛයෙකි. ඌ එළවා දැමීමට එතැන සිටි කිහිප දෙනෙකුම උත්සාහයේ යෙදුන ද ඉන් ඵලක් වූයේ නැත. එය දුටු බෙරවැයුම්කරු සුනඛයා අසලටම ගොස් කේන්තියෙන් “දුප් බල්ලා” යනුවෙන් පවසමින් බෙරයේ එක් පසකට වේගවත් පහරක් ගැසීය.
ඉන් නැගුනු ශබ්දයෙන් බියට පත් සුනඛයා එළියට දිව ගිය ද ඔහුට දැක ගත හැකි වූයේ බෙරයේ එක් පැත්තක් පැලී ඇති බවයි. මෙය දුටු පිරිත් ඇසීමට පැමිණි පිරිසට සිනහව පාලනය කර ගැනීමට නොහැකි වුවද ,බෙර වැයුම්කරුට දෙවියන් සිහි වූයේ බෙරයේ එක් පසක් නොමැතිව මංගල බෙර වාදනය කිරීමට නොහැකි වීම නිසාය.
කලබල වූ සියලු දෙනා එම මොහොතේ බෙරයක් සෙවූව ද සොයා ගත නොහැකි විය. කළහැකි දෙයක් නොවූයෙන් වැයුම්කරු බෙරයේ නොපැළුණු පැත්ත උඩු අතට හරවා දෑතින්ම වෙර යොදා මිනිසුන්ගේ සිනහව මැද බෙරය වාදනය කරන්නට විය.
කෙසේ හෝ එළිවනතෙක් පිරිත් සඡ්ඡායනය අතරතුර අවශ්‍ය අවස්ථාවන් හිද ඒ අයුරින් තනි පැත්තෙන් බෙරය වාදනය කරමින් තමා භාරගත් කාර්ය අකුරටම ඉටු කිරීම පිළිබඳව අවසානයේ ඔහු සැමගේ ප්රසංශාවට ලක් විය.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්