(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
බල්ලන්ගේ වැඩක් නිසා කොරෝනාවලට බයේ දිවා ආහාරය කඩෙන් නොකෑ අයෙකුට සිය බිරිය කඩෙන්ම කන්නට හැරි පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
වෙනදා රාජකාරියට ගිය ඔහු දිවා ආහාරය ගත්තේ කඩෙනි. කොරෝනා ව්‍යසනයත් එක්ක ඔහු කඩෙන් නොකෑවේය. ඒ වෙනුවට නිවසින් බැඳගෙන එන බත් මුල කොටා බෑවේය.
එදා රාජකාරියට යන ඔහුට සිය බිරිය මුදල් දුන්නේ වැඩඇරී එනවිට පසුදා වැඩට ගෙන යාමට බත් පතට අවශ්‍ය මාළු ගෙන ඒම සඳහාය. වැඩ නිමවී රෑ බෝවී සිය යතුරු පැදියෙන් නිවස කරා එමින් සිටි ඔහු නගරයේ මාළු වෙළෙඳ සලකින් මාලු මිලදී ගත්තේය. බිරියට ඉවීමට පහසුවන අයුරින් මිලදී ගත් මාළුවා කපාගෙන ඒමටද ඔහු අමතක නොකළේය.
කපාගත් මාළුවා ෂොපින් බෑගයක දමාගෙන එය යතුරු පැදියේ හැඬලයේ එල්ලාගෙන ආ ඔහු නැවතුනේ නගරයේ හොරට මත් පැන් අලෙවි කරන තැනකය. කාර්යාලයේදී ලැබුණු සංතෝසම් මුදලකින් හීන් අඩියක් ගැසීමට සිතූ ඔහු යතුරු පැදිය මග නවතා එම ස්ථානයට ගියේ මිලදී ගත් වඩේ කිහිපයක් සමගින්ය.
හනි හනිකට වැඩේ කරගෙන නිවස කරා යාමට යතුරු පැදියට එන විට යතුරු පැදියේ හැඬලයේ එල්ලා තිබූ මාළු බෑග් එක බල්ලන් බිම දාගෙන කනු දුටු ඔහුට හීන් දාඩිය දැම්මේය. ඒ මේ වේලාවට නගරයේ මාළු ගන්න තැනක් නැතිවීමත්, මාළු තියා ඊට ආදේශක වන කරවල හෝ සැමන් ගැනීමට හරිහමන් මුදලක් තමා අත නොතිබීමත් නිසාය.
කර කියා ගන්න කිසිවක් නොවූ තැන ඔහුට හිස් අතින් ගෙදරයාම හැර වෙනත් විකල්පයක් නොවීය. තමාටවූ අකරතැබ්බය ගැන බිරියට පැවසීම හැර ඊට ගැළපෙන වෙනත් කාරණාවක්ද ඔහුට නැතිවිය.
මුවින් මත් පැන් ගඳ වහනය වීමත් සමග බිරිය සිතූවේ ඔහු මුසාවක් ඇද බෑ බවය.මාළු ගෙන ඒමට දුන් මුදලින් මත් පැන් පානය කර ඇති බව සිතූ ඇය ඔහුට දිවා කෑම පාර්සලය සාදාදීම ප්‍රතික්ෂේප කළේ කන විදිහකට කාපුදෙන් කියමිණි.