පොලී අක්කාගේ සල්ලි මිටිය ලෙයින් තෙත්වෙයි


ගමේ දුප්පත් පවුලකි. මව පියා සහ දියණිය පවුලේ සාමාජිකයෝය. පියා රසකැවිලි සාදා බයිසිකලයෙන් ගෙනගොස් වෙළෙඳාම් කළ අතර මවද ඉඳහිට ලැබෙන කුලී වැඩක් කළාය. කොතරම් මහන්සි වුවද මව්පිය දෙදෙනා තම එකම දියණියගේ රැකවලෙහි යෙදීමට ද අමතක කළේ නැත. ඒ දියණියට තිබූ ආදරය නිසාමය.


මේ අතර දියණිය වැඩිවියට පත්වූවාය. අහිංසක මව්පියන්ගේ සතුට ඉතිරී ගියේය. දුවගේ කොටහළු මංගල්‍යය ජයටම ගන්න  දෙදෙනාටම අවශ්‍ය විය. උත්සවය කරන ආකාරය ගැන සැලසුම් සකස් කළහ. ආරාධනා කරන පිරිස ගැනද සාකච්ඡා විය. ඔවුනගේ දුප්පත්කම ඔවුනට අමතක විය.


 කෙසේ වෙතත් දුවගේ උත්සවය ජයටම ගතයුතු නිසා දෙදෙනා අවසානයේ  තීරණයකට එළඹියහ. එනම් ගමේ සල්ලි පොලියට දෙන පොලී අක්කාගෙන් ණය මුදලක් ලබා ගැනීමටය. පොලී අක්කාගේ කට සැරය. නියමිත දිනට පොලිය නොදුන්නොත් මිදුලට පැමිණ මළගිය ඇත්තන්ට පවා දෙස් දෙවොල් තබන්නීය. 


පොලී අක්කා තරමක් අදිමදිකොට  ඔවුනට ණයක් දුන්නාය. ඔවුන් මහ ඉහළින්  කොටහළු මංගල්‍ය උත්සවය සංවිධානය කෙරිණි. එදින රාත්‍රියේ බොහෝ දෙනෙකු  පැමිණ දියණියට තෑගි බෝග දුන් අතර පොලී අක්කාද පැමිණ උත්සවය අවසන් වන තුරුම රැඳී සිටියාය. ඇය  විශේෂ අවධානය යොමු කරමින් සිටියේ දියණියට දෙන ලියුම් කවර දෙසය.


 පසු දින උදෑසනම පොලී අක්කා ඔවුන්ගේ නිවසට ආවාය. “කෝ ගනිල්ල සල්ලි. උඹලට ඕව වියදම් වුනාම කොහෙන් දෙන්නද? සුමානෙක  පොලිය දුන්නම ඇති. “ඇයගේ හඬට නිවසට පිටතින් පැමිණ සිටි ඥාතීන් කිහිප දෙනෙක්ද කම්පනයට පත්වූහ. පෙර දින රාත්‍රියේ  නව යොවුන්වියට පත්  දියණියගේ අතට ලැබුණ සියලුම ලියුම්කවර පොලී අක්කා ඉදිරියේ විවෘත කෙරිණි.


කවරවල තිබූ නෝට්ටු සියල්ලම ගණන් කළේ පොලී අක්කාය. ඇයගේ ණය පියවීමට එම මුදල ප්‍රමාණවත් නොවීය. “ඉතිරි සල්ලි ලබන සතියේ දීපල්ලා” කියමින් ඇය එම මුදල රැගෙන ගියාය. එයට විරුද්ධවීමට අහිංසක දෙමව්පියන්ට හයියක් තිබුණේ නැත. නව යොවුන් දියණිය ද හැඬූ කඳුළින් සිටියාය.


 එහෙත් ඇයට යාමට හැකි වූයේ ටික දුරක් පමණි. පැරැණි වෛරක්කාරයෙක් ඇය ඉදිරියට එමින් සිටියේය. පොලී අක්කාගේ කට කොතරම් සැර වුවද සතුරා එන විදිය එතරම් හොඳ නැති බව ඇයට වැටහිණි. ආපසු  හැරෙන්නටත් බැරිය. ඇයට තවත් කිසිවක් හිතන්නට ඉඩ ලැබුණේ නැත. 


ඇයගේ හිසෙන් ගලාගිය රුධිරයෙන් ගවුම් සාක්කුවේ තිබූ නෝට්ටු සියල්ලම සේදී ගියේය. පසුව එම පුද්ගලයා පොලිසියට ගොස් විලංගු දැමීමට  තම දෑත් දිගු කළේය. 
(උණවටුන ඩී.ජී. සුගතපාල)