පොත්තේ සුදට දොස්තර දෙපාරක් ගාණ කපලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


මෙරට පදිංචි සුද්දාගේ පොත්තේ සුදු පාට බලා දෙවරකට දෙගුණයක්  විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීමේ ගාස්තු ලබාගත් අපූරු පෞද්ගලික රෝහලක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
සුද්දා ජර්මනියේ උපන් එකෙකි. දැන් මෙරටේය. පදිංචිය ඉදුරුවේය. සිංහල වතුර වගේය. මෙරට රිය පැදවීමේ බලපත්‍රයක් ද ඇත්තේය. දශකයකට එහා ගිය කාලයක සිටන්ම සුද්දා සිටින්නේ ඉදුරුවේය. සිය විශ්‍රාම වැටුපෙන් සැදෑ සමය ගත කරයි. තමාගේ අවසන් හුස්ම පොදත් යායුත්තේ මෙරටේ බව ඔහු සිතන්නේය.
තමාට ඇතිවූ රෝගී තත්ත්වයකට විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වීම සඳහා ඔහු තෝරා ගන්නේ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහලකට එන විශේෂඥ වෛද්‍යවරයෙකි. ඒ ස්නායු රෝග පිළිබඳවය. සුද්දා විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වීම සඳහා අදාළ මුදල ගෙවා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත්තේය.


ඔහුට වෙන් කළ දිනය සහ වෙලාව උදාවිය. ඒ අනුව සුද්දා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ළගය. තමාගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍යවරයාට කීවේ ඉංග්‍රීසියෙනි. ඒ විශේෂඥ වෛද්‍යවරයාට පහසුවෙතැයි සිතාය. විශේෂඥ වෛද්‍යවරයා සුද්දා පරීක්ෂා කර බලා ඔසු සලකින් ගැනීමට බෙහෙත් ලියා දුන්නේය. ඒ සමගම සුද්දා මේ රටේ මිතුරා සමග එන්නට විශේෂඥ වෛද්‍යවරයාගේ කාමරයෙන් එළියට ඒමට නැගිට්ටේය. ඒ සමගම ක්‍රියාත්මකවූ විශේෂඥ වෛද්‍යවරයා සුද්දා සමග ආ මෙරටේ මිතුරාට කීවේ මෙයා සුද්දකු නිසා සිය වෛද්‍ය ගාස්තුව දෙගුණයක් විය යුතු බවය. ඒ නිසා තමාට පෙන්වීමට මුලින් ගෙවූ ගානම තව වරක් ගෙවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ඔහුට කීවේය.
මෙය ඇසූ සැණින් සුද්දාට ලංකාවම පිළිබඳව කල කිරීමක් ආවේය. සුද්දගේ කටින් සිංහල පැන්නේ ඒ එක්කමය. මේ රටේ මිනිස්සුන්ටත් හැදෙන ලෙඩක් තමයි මටත් හැදිලා තියෙන්නේ මගේ හමේ සුදු පාටට කොහෝමද එය ඩබල් වෙන්නේ යයි සුද්දා ඇසුවේය. ඒත් විශේෂඥ වෛද්‍යවරයා සිය ස්ථාවරය වෙනස් නොකළේය. මුදල් ගෙවන ලෙසම ඔහු කීවේය. මුදල් නොගෙවා ආපසු ඒමට සුද්දාට ඕන තරම් ඉඩකඩ තිබුණත් සුද්දා තමා සුදු නිසා විශේෂඥ වෛද්‍යවරයා නියම කළ මුදල දෙවැනි පාරටත් ගෙව්වේය.
කමක් නැහැ මේ වගේ  හිඟන විශේෂඥ වෛද්‍යවරුන් දැක්කේ ලංකාවේදී තමයි යයි කියූ ඔහු විශේෂඥ වෛද්‍යවරයා ලියා දුන් බෙහෙත්  මිලදී ගැනීමට ඔහුගේ ඔසුසලට නොගොස් මෙරට මිතුරා ඒ සඳහා යැව්වේ තමාගේ පොත්තේ පාට නිසා ඔසුසලේ ගාස්තුවත් දෙගුණයක් වේයයි සිතාලු‍.