මහ රෑ නගර මධ්‍යයේ කුණු බක්කියේ ඇස් නොඇරිච්ච පූස් පැටව් සිව්දෙනා දමාගිය සාමදාන විනිශ්චයකාරයකු හඳුනාගත් අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හේ නගරයේ හැමදෙනාම දන්නා කෙනෙකි. ඒ සාමදාන විනිශ්චයකාරයකු ලෙසත් සමාජ සේවකයකු ලෙස කළ භූමිකාව නිසාය.ඒ නිසාම ඔහු නම කියූ අයුරින් දන්නා අයෙකි.
එදා අදාළ පළාත් ආයතනයේ පවිත්‍රතා අංශයේ සේවකයන් ගියේ නගර මධ්‍යයේ තිබූ කුණු බක්කියේ කුණු අස් කිරීමටය. ඒ යන සේවකයන් දුටුවේ එහි දෙඇස් නෑරී පූස් පැටව් සිව්දෙනෙකි. එකිනෙකා වෙළී සීතලේ ගැහි ගැහී සිටි මේ කිරි කැටියන් දුටු පළාත් පාලන ආයතනයේ සේවකයන්ගේ හද කකියන්ට පටන් ගත්තේය. ඔවුනගේ දෑසට කඳුළක් එක්විය.
මේ සේවක පිරිස මුලින්ම කළේ මේ කිරිකැටියන් සිව් දෙනාට අසල්වැසි නිවසකින් සාදවාගත් පිටි කිරි පාන් කඩයක පොවා පෙවීමය. එයින් නොනැවතුණු ඔවුහු මේ පාපකාරී වැඩය කළ තැනැත්තා හඳුනා ගැනීමට කටයුතු කළහ. ඒ සඳහා මේ පූස් පැටව් දමා ගිය අයටවත් සිහියට නොආ කාරණාවක් ඔස්සේ ඔවුහු අපූරු පරීක්ෂණයක් කළහ.
ඒ අනුව මේ පුද්ගලයා ඔවුහු හඳුනා ගත්හ. ඔහු සොයා ඔවුහු ගියහ. එහෙත් මේ පුද්ගලයා එය බැහැර කළේය. තමන් කවදාවත්ම ඔය වැනි පාපකාරී වැඩක් නොකරන බව කීවේය. ඒ බව දිවුරමින් කීවේය. නැහැ තමාම තමයි මේ පූස් පැටව් ගෙනත් දැම්මේ..., යයි සේවකයෝ විශ්වාසයෙන් යුතුව කීහ. එහෙමනම් එය ඔප්පු කර පෙන්වන්න යැයි ඔහු කීවේය.
ඒ සමගම එක් සේවකයෙක් තමාගේ ජංගම දුරකතනය ගෙන වීඩියෝවක් පෙන්නුවේය. ඒ සමගම ඔහුගේ තුන් මුහුණින් දහඩිය දැම්මේය. තොළ කට වේළී ගියේය. කතා කර ගැනීමට පවා නොහැකි විය. ‘අනේ මල්ලිලා ඉල්ලන ගානක් දෙන්නම්. මේක කාටවත් කියන්න එපා. මම ඒ පූස් පැටව් ටික ආයෙත් ගන්නම්’ කීවේ යයි කියමින් ඔහු බැගෑපත් වූවේය.
නගර මධ්‍යයේ කුණු බක්කිය ඉදිරිපිට වෙළඳ සලේ තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පිළිබඳව ඔහුගේ නොදැනුවත් කම නිසා මේ සේවකයන්ට මේ පුද්ගලයා හඳුනා ගැනීමට හැකි වූ බව ඔහුට අවබෝධ වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත