පුරුද්දෙන් අලි අමාරුවක වැටිලා



කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



තෙදින පුහුණුවක් සඳහා ගොස් අවසන් දින රෑ ඇඟ රත්කර ගැනීමට තැබෑරුමකට රිංගා තමාගේ පුරුද්දක් නිසා අලි අමාරුවක වැටුණු අයෙකු පිළිබඳ කතාවක් අසන්නට ලැබේ.
මේ තෙදින පුහුණුව පැවතියේ කොළොම්පුරේ ශාලාවකය. වැඩසටහන සංවිධානය කොට තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයකිනි. මේ කතානායකයාද ද ඒ සඳහා ගොස් සිටියේය. වැඩසටහනේ අවසන් දින රාත්‍රියේදී කට්ටියම ඇඟ රත්කර ගැනීමට කතා කර ගත්තෝය. ඒ අනුව කට්ටියක් නගරයේ තැබෑරුමකට රිංගූහ.
දැන් කට්ටියටම ඇවිදින්නට තියා කෙළින් සිටීමටවත් බැරි තරම්ය. මේ නිසා ඔවුහු ත්‍රිරෝද රථයකින් නවාතැන් පොළට ආහ. උදේ බලන විට ඔවුහු වැටිච්ච වැටිච්ච තැන්වලය. අවදි වූයේ නැවතත් පුහුණුව සඳහා යාමටය. කතා නායකයාගේ පාවහන් යුගල නැත. සෑම තැනම සොයා බැලු‍වත් එය සොයා ගැනීමට නොහැකිවිය.


රත්වූ රාත්‍රිය ඔහුට මතක් වූවේ එවිටය. එහි තැබෑරුමද සිහියට ආවේද එවිටය. එහි බිමට ටයිල් අතුරා තිබු බවද සිහියට ආවේය. ටයිල් බිමකට ඔහු අනිවාර්යයෙන්ම පා නගන්නේ පාවහන් ගලවාය. මේ පුරුද්ද නිසාම ඔහු තැබෑරුමට රිංගා ඇත්තේ පාවහන් ගලවාය. කණ පැළෙන්න සප්පායම්වූ නිසාම ඔහුට ටයිල් බිමේ ගලවා ආ පාවහන් යුගල අමතක වී තිබුණේය.
 පුහුණුව අවසානයේදී දිගු කලිසමක් ඇඳ ඔහුට සිය නිවස කරා යාමට පාවහන් යුගලක් දැන් නැත. පාවහන් යුගලක් ගැනීමට නම් අනිවාර්යයෙන්ම නගරයට යායුතුය. ඔහු ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන නගරයට ගියේ පාවහන් නොමැතිව දිගු කලිසමත් ඇඳ ගමන් මල්ලත් එල්ලාගෙනය. ඔහුගේ මේ පුරුද්ද තැබෑරුමට හරි නොයන බව පුහුණුවට ගිය අනෙක් අය කීවේ බඩ අල්ලගෙන සිනාසීමෙන්ලු‍.