මොරගොල්ලාගම සිසිර කැලේගම
ධනය, නිලය, බලය, කොතෙක් තිබුණත් ඒ ඇසුරේ හැදෙන වැඩෙන දරුවන් ආදර්ශයට ගන්නේ ඒ මව්පිය ඇසුරය. මේ එවන් කතාවකි. එය ඇසෙන්නේද මෙරට සිව් වැනි රාජධානි පුරවරයට අයත් ගැමි පෙදෙසකින් ය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙරට ප්‍රසිද්ධියක් උසුලන දෙපාර්තමේන්තුවක පළාතේ ඉහළ තනතුරක් මව් පිය දෙපළ දරති. මේ නිසා ඔවුනට ගමෙන් පමණක් නොව පිට පෙදෙස්වලින් පවා ලැබෙන ගරු බුහුමන් එමටය. ඔවුනට ගොඩ මඩ කුඹුරු ඇත. ඒ මවුපිය දෙපලට උරුම වූ ඒවාය.
ඒවා වැඩ කරන්නට එම පෙදෙසේ අයට අඳේට දී ඇත. ඒ තම මව්පිය දෙපල වියපත් නිසාත් තම පවුලේ එකම පුතු ඉහළ තනතුරක් හොබවන බැවින් ඒවා රැක බලා ගැනීමට අවැසි වතාවරණයක් ඔවුනට නොමැති නිසාත් ය.
මෙම නිවසට ඉහළ පැලැන්තියේ බිරියගේ හා සැමියාගේ ආයතනවල දෙපාර්ශවයේම අය පැමිණෙති. මෙම තත්ත්වය හමුවේ ඔවුනගේ වියපත් මවට හා පියාට නිවස පිටුපස වෙනම කාමරයකි. ඉදිරියට පැමිණෙන්නට තරම් ඔවුනට වාරු ද නැත. තිබුණත් ඒමට වැට බැඳී තිබුණි.
කෑමට දෙදෙනාටම එම කාමරයේම වෙන් කරන ලද පිඟන් දෙකකි. වතුර බීමට බෙලෙක්ක කෝප්ප දෙකකි. ඒවාට කෑම, වතුර ගෙයි සිට ගෙනැවිත් බෙදනවා හැරෙන්නට ඒවා ගෙට ගන්නේද නැත. මෙම සිදුවීම ගෙයි හැදෙන පොඩි වියේ පසුවෙන දූ, පුතුද නිතර නිතර දකිති.
ඒ අතරවාරයේදි පියා මිය ගියේය. ආගමික වතාවත් මහ ඉහළින්ය. ගුණ කතන එමටය. මෘත දේහය නිවසින් පිට කෙරුණි. ඒ සැණින්, ඔහු පාවිච්චියට ගත් බඳුන්වලට කෑම වතුර තබා කඩුල්ලට පිටතින් ප්‍රේත ගොටුව තැබීම සිදු කෙරුණි. ඒ මෙම ප්‍රදේශයේ සිරිතකි.
අවමඟුල් උත්සවය නිමා වෙද්දී ගෙයි සිටි දඟකාර පැටියා එළියේ තම සීයාට කෑම දුන් පිඟාන හා කෝප්පය සෝදා ගෙට ගෙන ආවේය.
එය දුටු අම්මා ‘‘චී...චී...පුතේ ඕවා අල්ලන්න එපා. එළියට විසිකරන්න” යැයි බෙරිහන් දුන්නාය.”
“ඇයි අම්මේ ඔයාලත් වයසට යනවානේ. එදාට ඔයාල දෙන්නටත් කෑම, බීම දෙන්නනේ මම මේ සීයාගේ පිඟානයි, කෝප්පයයි ගෙට ගෙනාවේ. මං කෙරුවේ වරදක්දැ යි” ඇසීමේදී මළ ගෙදර රැස්ව අවට සිටි පිරිස් කොක් හඬලා සිනාසෙද්දී කරපු ගොංකම් තම දරුවා ආදර්ශයට ගෙන ඇති අයුරු පසක් වී මවගේත්, පියාගේත් දත කට පූට්ටු වුණාලු.

