මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි
පියා මියගිය පුවත සැල වූ විගස සියලු කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක පිළිබඳ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ නිවාස සංකීර්ණයකට නුදුරු පෙදෙසකින් වාර්තා විය.
කෙටි කලක් තිස්සේ අසනීපෙන් පෙළුණු පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක දී මරණයට පත් විය.
දරුවන් දෙතුන් දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන කතා කර නිගමනයට පැමිණියේ නගරයේම මල් ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු කරන්නටය.
එම කටයුතු සඳහා සෙසු දරුවන් රෝහල කරා ගමන් කළත් එක් දියණියක ඔවුනට එක් වූයේ නැත. ඇය නිතර ගමන් බිමන් යන යතුරුපැදිය නිවසේ තිබියදීම කුලී රියකට කතා කළාය.
නිවසේ සිටි ඇය පැවසුවේ මම මෙහෙම එතනට ගිහින් වැඩක් නැහැ ලස්සනට ඉන්න ඕනෑ කියාය.
කුලී රියක් ගෙන්වාගත් ඇය නිවාස සංකීර්ණ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් ලස්සනට හැඩ වුණේ ඉන් අනතුරුවය. ඇය ඒ සඳහා පැය දෙක තුනක් කල් ගත කළාය.
තමන් ලස්සන වීමෙන් පසු සැමියාට කතා කර මෝටර් රථ කුලී පදනම මත ලබා දෙන තැනකින් ගෙන්වා ගත් රියක නැගී මල් ශාලාව කරා ගියේ තමන්ගේ ලස්සන පෙන්නන්නට මිස පියාට බුහුමන් දක්වන්නට නොවේ.
පසුදින ද ඇය මේ ආකාරයටම සැරසී සැමියා සමඟ පියාගේ දේහය අභියසට ගොස් කාලය ගත කර අවසන් කටයුතු සිදු කෙරෙද්දී යළි නිවස බලා ගියේ පියාගේ මරණයේ සියලු වියදම් සෙසු සහෝදර සහෝදරියන්ට ඉතිරි කරමින් බවද දැන ගන්නට ලැබිණි.