(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා පළාත් සංචරණ සීමාවත් සමගම බස්නාහිර පළාතේ සිය සැමියා කොටුවීම නිසා වසරකට ආසන්න කාලයක් තිස්සේ අල්මාරි ලාච්චුවෙන් අස්ථානගතවූ රන් මුදු දෙකට සිදුවූ දේ දැන ගැනීමට බිරියට හැකිවූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණ.
ඇය විදේශ රටවල සේවය කර රන් ආභරණ යහමින් උපයා ගත්තාය. ඒ රන් ආභරණ සියල්ලම තිබුණේ නිවසේ අල්මාරි ලාච්චුවේය. රන් මුදු රැසක් ද ඒ අතර විය.
අල්මාරි ලාච්චුවේ තිබූ රන් මුදු දෙකක් අස්ථානගත වන්නේ මේ අතරවාරයේදීය. නිවෙසේ සෑමතැනම සෙව්ව නමුත් ගෙහිමි කතට එය හමු නොවීය. රුපියල් විසි තිස්දහසක් වටිනා එම මුදු දෙක අමතකවීමෙන් කොහේ හෝ දමන්න ඇතැයි සිතූ ඇය ඒ පිළිබඳව ආශාව අත්හැරියාය. ඒ ඊට වෙනත් කරන්න දෙයක් නොතිබූ බැවිනි. මේ සම්බන්ධයෙන් ඇය නිවෙසේ සිටින අය ගැන අබමල් රේණුවක තරමකවත් අවිශ්වාසයක් ද නොතැබුවාය.
ඇයගේ සැමියා බස්නාහිර පළාතට ගියේ සිය ඥාති නිවෙසක සිදුවන අලුත්වැඩියා කටයුත්තකට උදව්පදව් සඳහාය. ඒ අතරවාරයේදී රජය කොරෝනා පළාත් සංචරණ සීමා පැනවූයේය. ඒ නිසාම ඔහුට බස්නාහිර පළාතේ කොටුවීමට සිදුවිය. දින දෙක තුනකින් සිය නිවෙසට ඒමට අපේක්ෂාවෙන් ගිය ඔහුට මේ කොරෝනා පළාත් සංචරණ සීමාව නිසාම එම පළාතේම නැවතීමට සිදුවිය.
ඔහු එහි කොටුවී සිටින විට ඔහුගේ නමට රජයේ වාණිජ බැංකුවකින් ලිපියක් නිවෙසට ලැබුණේය. එහි වූයේ රන් ආභරණ බේරා ගන්නා ලෙස එවන ලද අවසාන අවවාදාත්මක ලිපියකි. නිවෙසින් අතුරුදන් වූ රන් මුදු දෙකේ විස්තරය මේ ලිපියේ තිබෙනු දුටු බිරියට හීන් දහඩිය දැමුවාය. නිවසේ අල්මාරි ලාච්චුවෙන් අස්ථානගත වූ මුදු දෙකට සිදුවූ දේ පිළිබඳව ඇයට අවබෝධයක් ලැබුණේ ඔහු පිළිබඳව ඇතිවූ දැඩි කෝපයකිනි.
මීට පෙර අවස්ථා දෙකකදීම මේ මුදු දෙක බේරාගන්නා ලෙස බැංකුවෙන් ලිපි ආවත් ඔහු නිවෙසේ සිටි නිසා ඒවා බිරියගේ අතට පත් නොවී ඔහු සන්තකයට ගැනීමට හැකිවී තිබේ. පළාත් සංචරණ සීමා පැනවීමත් සමගම මෙවර බැංකුවෙන් එවූ ලිපිය ඔහු අතට පත් නොවී එය බිරියගේ අතට පත්වූයේ ඔහුගේ ලොකු පවක් පඩිසන් දෙන්නා සේය.