පළමු හොරා දෙවැනි හොරාගේ පාමුලටම පුවක්වල්ල ගෙනත්
පළමු හොරා දෙවැනි හොරාට බයවී කඩාගත් පුවක්වල්ල ගහමුල දමා පැන ගිය පුවතක් ගම්මානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔවුහු දෙදෙනාම සුළු හොරකම්වලට ඇබ්බැහිවූ අය වෙති. මේ දිනවල පුවක් මිල හොඳ නිසා දෙදෙනාගේම අවධානය යොමුවී තිබුණේ පුවක් වගාවන් දෙසටය.
ගං ඉවුරේ සරුවට වැඩුණු පුවක් ගසක ඉදුණු පුවක් වල්ලක් දෙස දෙදෙනාම ඇස ගසා සිටියහ. මේ දෙස තව දුරටත් බලා සිටිය නොහැකි එක හොරෙක්, තරමක් රෑ බෝ වී හොඳට අඳුර වැටුණු පසු හිමින් ගසට නැඟ පුවක් වල්ල කඩා අතට ගත්තා පමණි.
ඔහු ගස උඩ සිටින බව නොදත් දෙවෙනි හොරාත් ගසට නගින්නට සැරසුණා පමණි. ගසෙන් බැසීමට බිම බැලූ පළමු හොරා සිතුවේ ගස මුල සිටියේ ඉඩම අයිතිකරු බවයි.
ඉක්මනින් පහළට බැසගත් ඔහු පුවක් වල්ලත් ගහ මුල දමා වැටෙන් පැන අතුරුදන්වී තිබේ. දෙන දෙයියෝ ළඟටම ගෙනත් දෙන බව සිතූ දෙවෙනි හොරා, පුවක් වල්ලත් රැගෙන හිමින් සීරුවේ එතැනින් මාරු විය. සිද්ධිය ගමේ සැලවූ පසු දැන් දෙදෙනාම මුහුණට මුහුණ හමුවන්නේ නැති ලූ.

