පණිවිඩයට ගෙදර යද්දී ළිඳට වැටුණු නෝනා නිවෙස ඉදිරිපිට


තම බිරිය නිවෙස අසල ළිඳට වැටුණා යැයි හදිසියේම සිය ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකින් කලබලයට පත්වූ හෝටල් සේවකයකු හඬා වැලපෙමින් සේවා ස්ථානයේ හිමිකරු වෙත සිද්ධිය පවසා කලබලයෙන් නිවෙස වෙත ගොස් බැලූවිට තම බිරිය නිවෙස ඉදිරිපිට වාඩිවී සිටිනු දැක මවිතයට පත්වූ අයකු පිළිබඳ අපූරු පුවතක් පිළිමතලාව ප‍්‍රදේශයෙන් වාර්තාවිය. ඔහු විවාහක, හෝටල් සේවකයෙකි. උදේ පාන්දර සේවා ස්ථානයට පැමිණ, සේවය නිමාවීමෙන් පසු  සවස 7ට පමණ නිවෙසට යාම දෛනික ක‍්‍රියාවලිය විය. ඉකුත් සතියේ දිනක ඔහු සුපුරුදු පරිදි සේවය සඳහා පැමිණ ගතවූයේ සුළු වෙලාවකි. ඔහුගේ ජංගම දුරකථනය නාද විය. ”අක්කා ළිඳට වැටුණා...” දුරකතනයෙන් ලැබුණු තොරතුර විය. ”අයියා...අපේ එක්කෙනා ළිඳට වැටිලලූ....මම යනවා...” හෝටල් සේවකයා ආපනශාලා හිමිකරු වෙත හැඬූ කඳුළින්, පවසමින් කලබලයෙන් නික්ම ගියේය. හෝටල් හිමිකරු සහ සෙසු සේවකයෝ නිවෙසට ගිය තම හිතවතාගෙන් තොරතුරක් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවූහ. නමුත් තොරතුරක් නැත. පසුදාට එළිවිය. වෙනදා මෙන්ම හෝටල් සේවකයා සේවයට පැමිණියේය. ”මොකද නෝනට..? හොස්පිටල් ගෙනිච්චද? මෙච්චර එකක් වෙලා තියෙද්දී වැඩට ආවේ මොකද?” ”නෑ...අයියේ...මටයි වැරදුනේ...නෝන ළිඳට යනකොට පාරෙයි වැටිලා තියෙන්නේ. මට දුරකතනයෙන් කෝල් කරනවිට ඇහුණේ ළිඳට වැටුණා කියලයි...” සියල්ලන්ටම සිදුව ඇති දේ අවබෝ්ධ විය. එදා පටන් තම සේවා ස්ථානයේ හිතවතුන්ගෙන් ගැලවීමක් නැත. ”අද මොනවා කියලා කෝල් එයිද දන්නේ නැහැ. පණිවිඩය හොඳට අහගනිං” හෝටල් සේවකයාට ලැජ්ජාවෙන් ඇඹරෙනු විනා වෙනත් කළහැකි දෙයක් නොවීය.