ආරක්ෂක හමුදාවට එක්වීමට බාධාවක් වූ අතේ තිබූ පච්චයක් ඉවත් කිරීම සඳහා හඳුන්කූරක් ගෙන අත පුලුස්සා ගත් තරුණයකුට අතේ තුවාලය සනීප කර ගැනීම සඳහා රෝහල් ගතවී බෙහෙත් එන්නත් කරවාගන්නට දින ගණනාවක් රෝහලක ප්‍රතිකාර ලබන්නට සිදුවූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු උසස් අධ්‍යාපනය නිම කළ තරුණයෙකි. ටික කාලයක් අගනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත වූ හෙතෙම ඉන් සමු ගත්තේ ආරක්ෂක හමුදාවට එක්වීමට තිබූ කැමැත්ත නිසාය. ගමට ආ ඔහු ඒ සඳහා ඉල්ලුම්පතක් යොමු කළේ තවත් මිතුරන් කීප දෙනකු ද හවුල් කර ගනිමිනි. ඔහුගේ අතේ තිබූ පච්චය දුටු හිත මිතුරන් කියා සිටියේ ‘‘පච්චය තියෙද්දි නම් හමුදාවටවත් පොලිසියටවත් යන්න බැහැ. අපේ අයියටත් එහෙම එකක් උනා.’’ යනුවෙනි.
මිතුරන්ගෙන්ම අසා දැනගත් පරිදි ඔහු එදා සිටම පච්චය ඉවත් කරන්නට කටයුතු කළේ දැඩි උනන්දුවකිනි. හඳුන්කූරු කීපයක් රැගෙන නිවසට පැමිණි ඔහු දොර වසා ගෙන පච්චය මත දැල්වූ හඳුන්කූර තබා අධික වේදනාවක් විඳිමින් එය පිලිස්සුවේ පච්චය අතුරුදන් කිරීමේ අටියෙනි. පච්චය ඉවත් වුවද එතන ලොකු තුවාලයකි. ගොඩ වෙදකම් කීපයක් කළද දිනෙන් දින තුවාලය පැසවන්නට විය. අවසානයේ ඔහුට ගමේ රෝහලට ඇතුළත් වන්නට සිදුවූයේ මව්පියන්ගේ බර බරේ නිසාය. තුවාලය පිරික්සු වෛද්‍යවරු ඔහුට පිටගැස්ම එන්නත මෙන්ම තුවාලය වේලීම සඳහා එන්නත් වාර ගණනාවක් ද නියම කළහ. ඔහු රෝහල්ගත කෙරිණි. දින පහක් පුරා එන්නත් ලබාගත් ඔහු රෝහලෙන් අපිට වූයේ තුවාලය යම් තරමකට සනීප කර ගනිමින්ය. එහෙත් දැන් ඔහු යළිත් දිනක් හැර දිනක් රෝහලට පැමිණ තුවාලයට බෙහෙත් දමා ගන්නා බව මිතුරෝ පවසති.
වියලුව වාර්තාකරු