නෝනා උඩ තියන්න ගිහින් නූලෙන් පණ බේරාගෙන


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
 මිතුරා කී පරිදි නෝනා උඩ තියා ගන්න ගොස් අමුතුම මරාලයක් හිස මතට කඩා පාත්වුණු අයෙකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අස්න්නට ලැබේ.


 නෝනා තනිකරම බෙලිකටු මල්ලකි. නිතරම චුරු චුරුය. කට ඇරියොත් ආඩපාලිමය. ඔහුහේ ඕනෑ එපාකම් ගැන කිසිම සෙවිල්ලක් මේ යක්ෂ දේනුවට නැත. මේ නිසාම ඔහු සිටියේ දැඩි කලකිරීමෙනි.


 නිවසේ සිටි සෑම අවස්ථාවකම ඔහුහේ සවන්පත්වලට කිසිම ඉස්පාසුවක් නැත්තේ භාර්යාවගේ ගෝරනාඩුව නිසාය. ඔහු මේ තත්වයෙන් ඇය මුදා ගැනීමට නොකළ දෙයක් නැති තරම්ය.


 ඔහුගේ කාර්යාලීය සමීපතම මිතුරා සිය භාර්යාව සමහ දිවි ගෙවන්නේ ජාඩියට මූඩිය මෙනි. පුදුම බැඳීමකිනි. අපූරු සෙනේහයකිනි. තමාටත් සිය භාර්යාව සමග මෙවැනි දිවියක් ගෙවීමට ඇත්නම් යැයි සිතුණු වාර අනන්තය. හොඳයැයි ඒ සම්බන්ධයෙන් මිතුරාගෙන් රහස් උපදේශයක් ගැනීමට සිතුවේ ඒ නිසාය.


 රාජකාරි කෑම කාමරයේ තනිවූ මිතුරාගෙන් ප්ලීස් මචං මට කියපන් උඹ කොහොමද නෝනත් එක්ක ඔච්චරම සතුටින් ඉන්නේ, යැයි ඇසුවේය. 


හා ඕක ඉතිං සිම්පල් නේ. මම ඉතිං නෝනා තනිවෙන තනිවෙන හැම වෙලාවකම නෝනා උඩම තියාගෙන තමයි ඉන්නේ. මට තේරුනේ නැහැනේ මචං, යයි ඔහු කීවේය.


මම හැම තිස්සේම නෝනා උඩ තියලයි කතා කරන්නේ. එයා සුදු නැති වුණත් මහේ සුදූ, මගේ සුදු නෝනා එයා රත්තරන් නොවුණත් මගේ රත්තරනේ කියලයි කතා කරන්නේ. එතකොට නෝනා උඩ යන්නේ හිමින් නෙමෙයි බං, යයි මිතුරා කීවේ ඔහුට ද එය අත්හදා බලන ලෙස ද ඉල්ලමිනි.


 මිතුරා කී පරිදි ඔහු සිය භාර්යාව උඩ තියාගන්න සිතුවේය. එදා නිවසට ගිය සැනින් ඔහු සිය ඇඹෙනියට හා මගේ සුදූ යයි කීවේය.
 එය ඇසූන ද ඇය ඒ ගැන නොඇසුනාමෙන් සිටියේ මේ මිනිහා එන්නේ මොකාට දැයි තේරුම් ගැනීමට නොහැකි වූ නිසාවෙනි.


 රෑවෙන්න වෙන්න ඔහුගේ මේ සුදූ කියවිල්ලෙන් හා රත්තරනේ යන කියවිල්ලෙන් මල පැන සිටි ඇය ඔහුට බැනගෙන බැනහෙන ගියේ නාකි මනමාලකම ඉහටත් උඩින් මම දන්නවා තමුසේ අද මොකාට ද එන්නේ කියලා කියමින් ඇය නොනවත්වාම ඔහුට බැනගෙන බැනහෙන ගියේ ඔහුට අමතක නොවන පාඩමක් ද උගන්වමිනි. ඒ තව එක පාරක්වත් මට ඔය වල්විදිහට කතා කළොත් කොසු පහරක් දෙන බවට තර්ජනය කරමිනි.