නිවේදකයාට උපදෙස් දෙන්න ගිහින් හූ හඬින් ලිස්සලා


පෝද්දල සරත් ආනන්ද ගමගේ


උත්සව සභාවක් මෙහෙයවමින් සිටි අයෙකුට නිතර නිතර උපදෙස් දෙමින් ඔහුගේ කාර්යයට බාධා කළ පුද්ගලයෙකුට එම සභාව මෙහෙයවීමේ වගකීම පවරා නිවේදකයා වේදිකාවෙන් බැසගිය අපූරු පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
 මෙම ප්‍රදේශයේ ජනප්‍රිය ලේඛකයෙකු විසින් ලියන ලද අලු‍ත්ම  නව කතාව එළිදැක්වීමේ උත්සවය පසුගියදා එම ප්‍රදේශයේ නගර ශාලාවේදී පැවැත්වුණි. මෙම කටයුත්තේ ප්‍රධානම වගකීම වන සභාව  මෙහෙයවීම පවරා තිබුණේ එම ප්‍රදේශයේම ජනප්‍රිය තරුණ  නිවේදකයෙකුටය.


   නියමිත දින උත්සවයේ කටයුතු ආරම්භවී වැඩසටහන  ක්‍රියාත්මක වෙමින් සිටියදී මෙම ප්‍රදේශයේම තවත් ජනප්‍රිය පුද්ගලයෙක්ද  වේදිකාව අසලටවී ජංගම දුරකථනයකින් ඡායාරූප ගනිමින් සිටියේය. පසුව ඔහු සභාව මෙහෙයවමින් සිටි නිවේදකයා ළඟට ගොස් නිතර නිතර ඔහු සමග සාකච්ඡා කරනුද දක්නට ලැබුණි. පසුව උත්සවයේ සංවිධායකවරයකුද එම පුද්ගලයා ළඟට ගොස් තදින්  ඔහුට යමක් කියන ආකාරයක්ද සභාවට දිස්විය.
එම අවස්ථාවේ දේශනය පැවැත්වූ විද්වතා සිය දේශනය හමාරකළ  අතර ඊළඟ අංගය ගැන පැහැදිලි කිරීමට නිවේදකයා වේදිකාවට  ගොඩවිය. ඔහු කතාව ආරම්භ කරනවාත් සමගම ඔහුට උපදෙස් දුන් පුද්ගලයාද වේදිකාවට ගොඩවී නැවතත් නිවේදකයාට යමක්ගැන පැහැදිලි කර වේදිකාවෙන් බසිනු සභාවට දිස්විය. නිවේදකයා ඊළඟ අවස්ථාව  හඳුන්වාදී වේදිකාවෙන් ඉවත්වූ පසුද අර පුද්ගලයා ඔහු ළඟට ගොස් මොන මොනවා හෝ කියන්නට විය. 
සංවිධායකයකු පැමිණ එම පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන්නද ලේඛකයා තමාගේ හොඳම මිතුරෙකැයි පවසමින් ඔහු එහි රැඳී සිටියේය. සභාවේ සිටි අයටද මෙම පුද්ගලයා මෙම කටයුත්තට බාධාවක්වී ඇති අයුරු පැහැදිලිවී තිබුණි.
එම අංගයද නිමාවූ අතර ඊළඟට තිබෙන කටයුත්ත ගැන  නිවේදකයා වේදිකාවේ පැහැදිලි කරමින් සිටිනවිට නැවතත් අර තැනැත්තා වේදිකාවට ගොඩවී නිවේදකයා අසලට ළංවිය. එවිට  නිවේදකයාද ඔහුට සවන්දී යමක් ඔහුගෙන් විමසා එයද සටහන්  කරගෙන නැවත මයික් එක අසලට ගොස් මෙම මොහොතේ සිට උත්සවයේ ඉදිරි කටයුතු මෙහෙයවීමට අර පුද්ගලයාට බාරදෙන බව පවසා  ඔහුගේ නම නිවේදනය කළේය.
ඔහුගේ නම කියවෙනවාත් සමගම සභාවේද සිනා හඬ පැතිරී  ඝෝෂාවක්ද ඇතිවිය. ඒ සමගම නිවේදකයාට උපදෙස් දුන් පුද්ගලයාද සභාවෙන් නැගුණු හූ හඬ මැද්දේ සභාවෙන් පිටවී යන අයුරු දැක ගන්නට ලැබුණි.