නියම සුදුස්සා කෑම පාර්සලයෙන් තේරිලා


දකුණු පළාතේ වේගවත් සංවර්ධනයට ලක්වන ප‍්‍රදේශයකි. චීන රජයේ අනුග‍්‍රහය ඇතිව පැවැත්වෙන සංවර්ධන ව්‍යාපෘතියකට මෙරට වැඩ උපදේශකයකු බඳවා ගන්නා සම්මුඛ පරීක්‍ෂණයකි. විශාල පිරිසක් පැමිණ සිටියේ ඉහළ වැටුපක් ලැබෙන තනතුරක් බව දැනගත් හෙයිනි. ව්‍යාපෘතියට සම්බන්ධ මෙරට මාණ්ඩලික නිලධාරීන් සම්මුඛ පරීක්‍ෂණය මෙහෙයු වූ අතර ඒ අසලම වීදුරු කාමරයක සිටි ව්‍යාපෘතිය භාර චීන නිලධාරියාද සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන පැත්තට ඉඳහිට ඇස් යොමු කිරීමටද අමතක කළේ නැත. සම්මුඛ පරීක්‍ෂණයට වැඩිදෙනා පැමිණ සිටියේ යුරෝපීය ඇඳුමෙන් සැරසීය. ටයි පටි පැළඳ හැඩ වැඩ වෙමිනි. මේ අය අතරේ සිටි අත් කොට සුදු කමීසයක් සහ කලිසමක් ඇඳ සිටි තරුණයකු ද සම්මුඛ පරීක්‍ෂක මණ්ඩලය ඉදිරියට ආවේය. එහෙත් ඔහුගෙන් වැඩිපුර කරුණු විමසුවේ නැත. ඔහු අත තිබූ මිට කොට කුඩය සහ පාර්සලයක් මේසය මත තබා කතා බහ කිරීම නිලධාරීන්ගේ අප‍්‍රසාදයට හේතු වූ බව ඔවුන්ගේ මුහුණුවලින් දැකගත හැකිවිය. විනාඩි දෙකකින් ඔහු සඳහා පරීක්‍ෂණ කටයුතු නිමවිය. මෙය බලාසිටි චීන නිලධාරියා එම තරුණයාට තමා වෙත එන ලෙසට සංඥාවක් දුන්නේය. තරුණයා වීදුරු කාමරයට ගියේ බියෙනි. ඔහුගේ අතේ බැඳ තිබූ ඔර්ලෝසුව දෙස බැලූ චීන නිලධාරියා අනතුරුව කුඩය දෙසද බැලීය. පාර්සලය දෙස ද බැලීය. ‘‘මොනවද පාර්සලේ’’ ඔහු ඇසුවේ බිඳුණු සිංහලෙනි. ‘‘දවල් කෑම එක සර්’’. ඔහු පැවසීය. චීන නිලධාරියා හිස වනමින් ඉංග‍්‍රීසියෙන් කිසියම් සටහනක් ලියා ඔහු අතම සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට යැවීය. එය කියවූ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ නිලධාරීන්ට උඩ බිම බැලූණේ ඉබේටමය. එහි සඳහන් කොට තිබුණේ ‘‘වැඬේට සුදුසුම පුද්ගලයා මොහුය. වහාම සේවයට බඳවා ගන්න’’ කියාය.