නැන්දම්මාගේ බලු ගෝරියෙන් ලේලිය ගෙදරින් ගිහින්


මොරගොල්ලාගම සිසිර කැලේගම
බල්ලකු නිසා නැන්දම්මා හා ලේලිය කෙහෙවලු පටලවා ගැනීමේ පුවතක් යාපහු පුරවරයෙන් අවටින් වාර්තා වෙයි.


නිවෙසේ අම්මා සහ පුතු වාසය කරති. පුතු රාජ්‍ය සේවකයෙකි. නිසි වයසේ දී ඔහු සහකාරියගේ අත පැතීය.


නිවෙසට ගෙනා සහකාරිය නිවෙසේ දමා පුතු රාජකාරිය සඳහා සිදාදියට ගියේය. නිවෙසේ තනි වූ ලේලිය සුරතලයට ඇති කිරීමට බල්ලකු ගෙනාවාය. නිවෙස වටා තාප්පයකින් වට කර තිබෙන නිසා බල්ලා ද නිදහසේ එහි කාලය ගත කළ අතර දිනක් නැන්දම්මා වෙනත් ගමනක් ගොස් ගෙට පැමිණ වටිනා සෙරෙප්පු දෙක දොර අසල තැබුවාය.


බල්ලා එය රැගෙන ගොස් කෑලි කෑලිවලට කා දැමුවේ යළි කොහෙත්ම පාවිච්චියට ගත නොහැකි අයුරෙනි. සිද්ධිය දුටු නැන්දම්මා බල්ලා අතටම අල්ලා ගත්තාය. තරහා යන තුරුම බල්ලාට පොල්ලක් ගෙන තැලුවාය. අසාධ්‍ය තත්ත්වයේ පසුවන බල්ලා දැක ලේලිය හඩා වැළපුණාය.


ඇය වහාම කුලී රථයක් ගෙන බල්ලා පශු වෛද්‍යවරයකු කරා රැගෙන ගිය අතර කුලී රථයේ මුදල හා බල්ලාගේ බෙහෙත්වලට ගිය වියදම දහස් ගණනකි.


අවසානයේ සුවයක් නැති බල්ලා දෙස බලා ඇය තව තවත් දුක් වුණද එය රුස්සන්නේ නැති නැන්දම්මා ඇයට හොදටම දෙහි කැපුවාය.
නිවසේ වෙසෙන්නට බැරි බව වටහා ගත් ඇය නැවතත් කුලී රථයක් ගෙන බල්ලාත් රැගෙන ඇයගේ නිවහන බලා නික්ම ගියාලු.