දේශපාලනය කතාකරන්න ගිහින් 2000 ක අලාභයකුත් ගෙවලා


දේශපාලන පම්පෝරි ගැසීමට යාමේ අතුරුඵලයක් ලෙස පාක්‍ෂිකයන් දෙදෙනකුට රුපියල් දෙදහසක දඩයක් බැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න උප නගරයකිනි.


මැදිවියේ වූ මේ දෙදෙනා දැඩි හිතවතුන් වූවත් දේශපාලන වශයෙන් සිටියේ පිල් දෙකකය. පසුගිය මැයි රැලියේදී තම පක්‍ෂයේ ජයග්‍රහණය පිළිබඳව එක් අයකු කඩපිලක කතා කරද්දී ප්‍රතිවාදී පිල නියෝජනය කළ හිතවතා ඊට එරෙහිව අදහස් පළ කළෙන් තරමක උණුසුමක් ඇතිවිය.


මොහොතකින් ආවේගයට පත් වූ එක් අයකු “අනේ පලයන් යන්න” කියා හිතවතා තල්ලු කළ විට සමබරතාව රැක ගැනීමට අසමත් වු ඔහු කැරකී ගොස් කඬේ ආහාර දමා තිබූ උස වීදුරු අල්මාරියක වැදී එහි වූ බඩුත් සමඟ ඇද වැටුනේ මහ හඬක් නගමිනි. වීදුරු කුඩුවී ආහාර වර්ග විසිරී ගියේය.


වහා එතැනට ආ මුදලාලි අලාභය ගණන් බලා එය රුපියල් දෙදහස් විසි පහක් බව පවසා “හිතල මතල දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා දෙදාහක් දෙන්න” කීවෙන් දෙදෙනාටම තරු පෙනුනාලු.

(තිහගොඩ - උපසේන ලියනගම)