කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
එදා උදේ නිවසේ සිටියේ ඔහු පමණි. භාර්යාව රැකියාවට ගොසිනි. දරු දෙදෙනා පාසලේය. ඔහු රැකියාවට නොගොස් සිටියේ නිවසේ අවශ්‍යතාවකටය. එදා උදේම ඔහුගේ නිවසේ දොරට තට්ටු කළේ ලස්සන නෝනා කෙනෙකි. සිය භාර්යාව සමග සංසදනය කරන විට ඇය දෙවඟනකි. ඇය අතේ තිබුණේ භාණ්ඩ වර්ග කිහිපයකි.
තමා එක්තරා සමාගමක නියෝජිතවරියක බව ඇය කීවාය. පැමිණියේ සිය සමාගමේ භාණ්ඩ වර්ග කිහිපයක් හඳුන්වාදීමට බවද කීවාය. ඔහු බැලුවේ ඇයගේ අතේ තියෙන භාණ්ඩ නොව ඇයගේ වත දිහාය. මහත්තයාට ඇය සිය සමාගමේ භාණ්ඩ ගැන හඳුන්වා දුන්නේ කඩා හැලෙන දියඇල්ලකින් වතුර ගලන්නාක් මෙන් මිහිරි වදන් වලිනි. මහත්තයා ඇගේ වතට පමණක් නොව කතාවට ද එකසේ වශී වූවේය.
මහත්තයාත් ඇය සමග දැන් හරි හරියට කදේය. ආගිය විස්තර මෙන්ම ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයද දෙදෙනා අතර හුවමාරු විය. මහත්තයා නිවස තුළට ගියේ ඇයට බීමට තේ එකක් රැගෙන ඒමටය. තමා තේ වත් කර ගෙන එන තෙක් ඇයට නිවස තුළට වාඩිවී සිටීමට ආරාධනා කිරීමට තරම් මේ මහත්තයා කාරුණික වූවේය.
තේ එකක් හදාගෙන ඒමට ඔහුට කාලයක් ගතවිය. මහත්තයා තේ එක හදාගෙන එන විට මේ නෝනා අන්තරස්දානවී තිබිණි. සොයා බැලුවත් ඇය ගිය තැනක් සොයා ගැනීමට ද නොහැකිවිය. අතට ආ කිරිල්ලිය අල්ලා ගැනීමට තරම්වත් තමා වාසනාවන්ත නොවූ බව සිතමින් ඔහු දුක්වූවේය.
නිවාඩු දැමූ කාරණාවට යන්න මහත්තයා සූදානම් වූවේය. සාලයේ මේසයේ තිබූ මුදල් පසුම්බිය සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය. ඔහුට එවිට සිහියට ආවේ උදේ නිවසට ආ සිරියාවන්ත නෝනාලු.