දෙදාහක් වියදම් කරගෙන ගිහින් පන්සීයක තෙල් අරන් ඇවිත්


වියලුව  වාර්තාකරු
රුපියල් දෙදහසකට අධික මුදලක් වැයකොට කිලෝමීටර් අසූවක් මඟ ගෙවා ගෙන ගොස් තම මෝටර් රථයට රුපියල් 500ක ඉන්ධන ලබාගත් රාජ්‍ය නිලධාරියකු පිළිබඳ පුවතකි.


ඔහු වියලුව ප්‍රදේශයේ සෞඛ්‍ය  ආයතනයක නිලධාරියෙකි.


සෞඛ්‍ය කාර්යය මණ්ඩල වෙත මහියංගන ප්‍රදේශයේ ඉන්ධනහලකින් ඉන්ධන නිකුත් කරන බව දැනගත් ඔහු නිවාඩුවක්ද ලබාගෙන තම ගම් ප්‍රදේශයේ සිට කිලෝමීටර්  හතළිහක් මග ගෙවාගෙන මහියංගන ප්‍රදේශයේ  පිහිටි අදාළ ඉන්ධන පිරවුම්හලක වෙත ගියේ  තම මෝටර් රථයට අවශ්‍ය ඉන්ධන ලබාගන්නට ය.


ඔහු යන විටත් සේවකයන්ගේ ඉන්ධන පෝලිම කිලෝමීටරයකට  වැඩි දුරක පැවතිණ. පෝලිමේ පසුපසින් තම වාහනය ගාල් කළ හෙතෙම පැය ගණනාවක් ගෙවමින් ඉන්ධන පිරවුම්හල අසලට සේන්දුවන විට සවස් භාගය ද ළංව තිබිණි.


ඒ වන විට ඉන්ධන අවසන්වීම හේතුවෙන්  ඔහු එම ස්ථානයට ළඟා වනවිට ඉන්ධන ලබාදීම එක් වාහනයකට රුපියල් 500ක මුදලක් සීමා කර තිබිණි.


පැය ගණනක් පෝලිමේ රැඳී සිටි ඔහුට අවසානයේ දී ලැබුණේ   රුපියල් පන්සීයයක් වටිනා ඉන්ධන ප්‍රමාණයක් පමණි. කරන්නට කිසිවක් නොවූ හෙතෙම රුපියල් 500ක ඉන්ධන ලබාගෙන යළිත් කිලෝමීටර් 40ක මගක් ගෙවමින් තම ගම් ප්‍රදේශය වෙත පැමිණියේ ඉතා අමාරුවෙන් තම මෝටර් රථය තුළ රැකගෙන තිබූ ඉන්ධන ප්‍රමාණය ද දහනය කර ගනිමිනි.