(ගල්ගමුව නිහාල් ජයවීර)
පිටස්තර ප්‍රදේශයක රැකියාවක් කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහ කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන්ගත් බැවින් ඔහු ප්‍රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ජංගම දුරකතනය පොළොවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැනගැනීමට ලැබිණ.
දැන ගැනීමට ලැබුණු පරිදි ඔහු මැදිවියේ පසුවන පෙදරේරුවෙකි. වැඩට ගොස් හවසට නිවෙසට පැමිණ ඇඟපතේ රුදාව මකා ගැනීමට යැයි කීය. රහමෙර ටිකක් පානය කිරීම සිරිතක් කොට ගත්තත් එදිනෙදා ඒ කාර්යයේ නිරත වෙමින් සිටියදී සිය දියණිය ඔහුට මතක් වී තිබේ. රටේ පවතින නොසන්සුන්තාව දියණියට ඇමතුමක් ගැනීම ඉක්මන් කළේය.
සිය ජංගම දුරකතනය ගෙන දියණියට ඇමතුමක් ගත් විට එහා කෙළවරෙන් ඔහුට ඇසී ඇත්තේ වෙනත් කාන්තාවකගේ කට හඬකි. කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා ස්ථානවල නොගැවසීම ආදී ලෙස විස්තරයක් කරන්නට පටන් ගත්තාය. වැරදි අංකයක් යැයි සිතා ඔහු දුරකතනය විසන්ධි කර මද වේලාවකින් නැවත දියණිය ඇමතුවාය. එහා කෙළවරෙන් යළි ඇසුණේ පෙර කාන්තාවගේ කොරෝනා විස්තරයමය. ඇමතුම විසන්ධි කොට දුරකතනය පසෙකින් තබා නිවස පිටුපසට ගිය ඔහු තවත් අඩියක් කටට හලාගෙන සාලයට පැමිණියේය.
දියණියගේ දුරකතනයේ අංකය නිශ්චිතව තහවුරු කරගත් ඔහු නැවත ඇයට ඇමතුමක් ගත්තේය. එවරද පෙර කතා කළ කාන්තාවම කොරෝනා රෝගයෙන් වැළකීමට සබන් යොදා අත්සෝදා ගැනීම ආදී ලෙස කියද්දී ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස් ඒයි ගෑනියේ මට කතා කරන්න ඕනෑ මගේ කෙල්ලට... යි මහ හඬින් තවත් පරුෂ වචන වැලකින් ඇයට බැණවැදී ජංගම දුරකතනය පොළොවේ ගසා තිබේ.
මේ මිනිහා කාටද මේ කෑගහන්නේ යි කියමින් ඔහුගේ බිරිඳ ඒ ගැන සොයා බැලීමට පැමිණෙද්දී ඔහු ඇයට පවසා ඇත්තේ තුන් සැරයක් දෝනිට කතා කරන්න හැදුවා. ඒත් ෆෝන් එක උස්සන්නේ වෙන ගෑණියෙක්. වශයෙනි.
සිනාව වළකාගත නොහැකිවූ බිරිඳ කට අතින් වසාගෙන කුස්සිය පැත්තට ගමන් කළ බව ඇයම සිය මිතුරියන්ට පවසා ඇත.